අමෙරිකානු ජනාධිපතිවරණය සහ පරිප්පු කෑම!

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ මීළග ජනාධිපතිවරයා ලෙස බලයට රැගෙන ඒම රුසියාවේ ඉලක්කය බව තහවුරු කෙරෙන බුද්ධි අංශ මූලාශ්‍ර රැසක් ලැබී ඇති බව අමෙරිකාවේ සීඅයිඒ සංවිධානය ඒ රටේ කොංග්‍රස් මණ්ඩලයට මෑතකදී දැනුම් දුන්නා.  ඒත් සීඅයිඒ සංවිධානය ඊට අදාළ තොරතුරු කිසිවක් තවමත් ප්‍රසිද්ධියට පත් කරල නෑ. වාර්තා වන අන්දමට මේ කාරණය සම්බන්ධයෙන් සීඅයිඒ සංවිධානය සහ අමෙරිකාවේ එෆ්බීඅයි ආයතනය අතර මත ගැටුමක් පවතිනවා.

මේ චෝදනාවේ සත්‍ය අසත්‍යතාවය මොකක් වුනත්, ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවාද කියන එක සැක හැර දැන ගැනීම, අමෙරිකානුවන්ට විතරක් නෙවෙයි, ගෝලීය පුරවැසියන් හැටියට අපිටත් වැදගත්.

මේක එක පැත්තකින් හරියට දෛවයේ සරදමක් වගේ. අමෙරිකාවේ නිදහස් හා සාධාරණ මැතිවරණයකදී, තමන්ගේ වුවමනා එපාකම්වලට වඩාත් හිතකර, දක්ෂිණාංශික අපේක්ෂකයෙකු බලයට පත්කිරීමට රුසියාව මැදිහත්වීම සම්බන්ධයෙන් සීඅයිඒ සංවිධානය චෝදනා කරන අතරම, අපි අමතක නොකළ යුතුයි නිරවි යුද සමයේ සීඅයිඒ සංවිධානය ලෝකයේ අනෙක් රටවලට කළෙත් මේකම තමයි!

මේ ඉතිහාසය අමෙරිකානුවන් බොහොමයකට අමතකයි. ඒත් ලෝකයේ බොහෝ දෙනෙකුට නම් අමෙරිකාව සිදුකළ මේ මැදිහත්වීම් අදටත් බලපානවා. අපේ කාලේ බොහෝ දෙනෙක් වොෂිංටනය දකින්නේ මේ අත්දැකීමුත් එක්ක.  පශ්චාත් දෙවැනි ලෝක සංග්‍රාම අවදියේදී, ලෝකය මත තමන්ගේ බලය හා ආධිපත්‍ය පතුරුවන්න වොෂිංටනයත්, මොස්කව් පාලනයත් දරපු උත්සාහයේදී හැම රටකම මැතිවරණ ව්‍යාපාරවලට බලපෑම් කරන්න මේ රටවල් දෙකම උත්සාහ කළා.

යුරෝපයේ ඉදල වියට්නාම දක්වා, චිලී රාජ්‍යයේ ඉදල පිලිපීනය දක්වා තමන් තෝරා ගත්ත දේශපාලකයන්ට අමෙරිකානු ඒජන්තවරු ඩොලර් පුරවපු බ්‍රීෆ්කේස් දුන්නා. වමට බර නායකයන්ට එරෙහිව සම්ප්‍රචාරණ යුද්ධ දියත් කළා. ඉරානයේ මොහොමඩ් මොසඩේ, ලංකාවේ එස්ඩබ්ලිව්ආර්ඩී, චිලීවල සැල්වදෝර් අයන්ඩේ එක්කෝ බලයෙන් පහකළා, නැත්නම් ඝාතනය කළා. එත් නැත්නම්, අද රුසියාවට චෝදනා කරනව වගේ “ව්‍යාජ ප්‍රවෘත්ති“ නිර්මාණය කළා.

ඩොව් ලෙනින් කියන සුප්‍රකට දේශපාලන විද්‍යාඥයා කියන විදිහට, අමෙරිකාවයි, රුසියාවයි දෙන්න එකතු වෙලා 20 වෙනි සියවසේ දෙවැනි අර්ධයේදී පමණක්, ලෝකය පුරා මැතිවරණ 117 කට මැදිහත් වෙලා තියෙනවා. සීඅයිඒ සංවිධානය තෝරා ගත්ත අපේක්ෂකයා පැරදුණාට පස්සේ අමෙරිකාව මොනවද කළේ කියන එක මෑත ඉතිහාසය දන්න අය දන්නවා.

ඉරානයේ, ජනතා ඡන්දයෙන් බලයට පත්වුණු මොහොමඩ් මොසඩේ බ්‍රිටිෂ් පැට්‍රෝලියම් සමාගම යටතේ පැවතුණු රටේ තෙල් කර්මාන්තය ජනසතු කරන්න උත්සාහ කරපු වෙලාවේ සීඅයිඒ නියෝජිත කර්මිට් රෑසවෙල්ට්, මොසඩේව බලයෙන් පහ කරල ෂා මොහොමඩ් රෙසා පාලවි බලයට ගේන්න කුමණ්ත්‍රණයක් දියත් කළා.  ෂාගේ සීක්‍රට් පොලීසිය මොකද කළේ? ක්‍රමයට විරුද්ධ වුනු දහස් ගණනක් වධ බන්දනවලට ලක් කළා. 1979 ඉරානයේ  ඉස්ලාමීය විප්ලවයට මග පෑදුනේ මේ නිසයි.

ගෝතමාලාවේ, ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වුනු, ජැකෝබෝ ආර්බෙන්ස් ගෝතමාලාවේ ඉඩම් අමෙරිකාවේ යුනයිටඩ් ෆෘට් සමාගමේ ග්‍රහණයෙන් බේරා ගන්න උත්සාහ කළාම, සීඅයිඒ සංවිධානය ඔහුට එරෙහිව කුමණ්ත්‍රණයක් දියත් කළා. ඊට පස්සේ උද්ගත වුනු සිවිල් යුද්ධයේදී, ගෝතමාලාවේ ස්වදේශික ජනතාවට එරෙහිව අමෙරිකාවේ සහාය ලත් ආරක්ෂක හමුදා දැවැන්ත මානව සංහාරයක් දියත් කළා.

චිලී රාජ්‍යයේ ජනතාව, මහ ඡන්දයකදී සමාජවාදී නායක සැල්වදෝර් අයෙන්ඩේට පක්ෂව ඡන්දය පාවිච්චි කළාට පස්සේ, සීඅයිඒ සංවිධානය දක්ෂිණාංශික ආඥාදායක පාලක ඔගස්ටෝ සිනෝෂේව බලයට ගේන්න ලේවැගිරුණු කුමන්ත්‍රණයක් දියත් කළා. මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, ඒ කාලේ අමෙරිකාවේ රාජ්‍ය ලේකම් හැටියට කටයුතු කරපු හෙන්රි කිසින්ගර් මොනවද දන්නවද කීවේ?

“රටක ජනතාව ගන්න වැරදි තීන්දුවක් නිසා රටක් කොමියුනිස්ට් පාලනයකට ගමන් කරනව නම්, ඒ රටේ සිද්ධවෙන දේවල් වෙනුවෙන් අපි පෙනී සිටින්නේ ඇයි?” කියල.. මම මේ ගත්තේ ප්‍රසිද්ධ උදාහරණ කීපයක් විතරයි.

ඒත් මේකෙන් අදහස් වෙන්නේ නෑ, රුසියාව අමෙරිකාවේ ජනාධිපතිවරණයට අතපෙව්වා නම් ඒක හරියි කියල. මොකද රටක මැතිවරණ ව්‍යාපාරයකට තවත් රටක් මැදිහත් වුනාට පස්සේ, ඒ රටේ ජනතාව කන පරිප්පුව මොකක්ද කියල අපි දන්නවා. ඒත් මට පුංචි සතුටක් තියෙනවා. තුන්වෙනි ලෝකේ අපි කන පරිප්පුව අමෙරිකාවටත් මේ මොහොතේ ටිකක් හරි කන්න ලැබුණ එක ගැන.

පසුවදනක් හැටියට මේකත් සටහන් කළ යුතුයි.
අපි තවමත් දන්නේ නෑ, බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කිරීමේ සැබෑ වුවමනාව කාටද තිබුණේ කියල. අපි තාම දන්නේ නෑ ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ආර්. ප්‍රේමදාස ඝාතනයට ලක්වුනේ කුමන අවශ්‍යතාවයක් නිසාද කියල. අපි තවම දන්නේ නෑ, ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනය පිටුපස්සේ ඉන්නේ කවුද කියල. මේ ඝාතන සියල්ල එල්ටීටීඊය කළා කියල කෙනෙකුට කියන්න පුළුවන්. ඒත් එල්ටීටීඊය පෙනී සිටියේ කාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ද? බටහිර බලවත් රාජ්‍යයන් එල්ටීටීඊ නායකත්වය බේරා ගන්න යුද්ධයේ අවසන් මොහොතේ උත්සාහ කළේ ඇයි?

අවසාන වශයෙන් ලෝකයේ ඕනෑම රටක ස්වාධීන ආණ්ඩුවක් තියෙනවා නම්, ඒ රට සතුව ෆොසිල ඉන්ධන, කෘෂිකාර්මික සම්පත්, මූල්‍ය සම්පත්, එහෙමත් නැත්නම්, මූලෝපායික වශයෙන් වැදගත් අනෙක් මොනයම් හෝ සම්පත් මූලාශ්‍රයක් තියෙනවා නම්, ඒ සම්පත් බටහිර බහුජාතික සමාගම්වලට හිතුමතේ කොල්ල කන්න ඒ රටේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැත්නම්, ඒ හැම අවස්ථාවකට ඒ රට විනාශ කරන්න මෑත ඉතිහාසයේ අමෙරිකාව උත්සාහ කළා.

මේක තමයි තිත්ත ඇත්ත.

– විජය දිසානායක

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *