ට්‍රම්ප් වෙතින් පරාජය වූයේ හිලරි පමණක් ද?

මගේ ගණුදෙණුව ඇත්තේ වංචනික හිලරි එක්ක නෙමේ.. වංචනික මාධ්‍ය එක්ක යි..

මගේ ගණුදෙණුව ඇත්තේ වංචනික හිලරි එක්ක නෙමේ.. වංචනික මාධ්‍ය එක්ක යි..

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය තරම් පසුගිය මාස කිහිපයේ දී ලෝක අවධානයට ලක් වූ තවත් කරුණක් නැති තරම්. ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මෙන්ම රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකල මතභේදාත්මක ප්‍රකාශ හේතුවෙන් මෙම මැතිවරණය විසින් ආර්ථික, සමාජයීය සහ දේශපාලන ලෝකය තවත් උණුසුම් කලා. මෙහිදී විශේෂයෙන් ම සඳහන් කල යුතු වන්නේ, මෙම මැතිවරණ මෙහෙයුමේ මුල ඉඳල ම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මතු කල සංක්‍රමණිකයින් පිලිබඳ මතභේදාත්මක සංවාදය යි.

ඇමෙරිකාව පුරා විසිරී සිටින සංක්‍රමණිකයින්ට (විශේෂයෙන් ම ඇමෙරිකාව තුල ජීවත් වන ලතින් ඇමෙරිකානු සම්භවයක් සහිත ජනතාව) යළිත් ඔවුන්ගේ රටවලට පිටත් කර හරින බවත්, යුරෝපයෙන් සහ චීනයෙන් ආනයනය නවතා දැමීමත් යන කාරණාවන් සිය මැතිවරණ පොරොන්දු ලෙස ප්‍රකාශ කිරීමටත් ට්‍රම්ප් කටයුතු කලා. ඒ වගේම, චීනය සහ රුසියාව යන දැවැන්ත රාජ්‍යයන් සමග මීට වඩා සමීප ව කටයුතු කිරීමේ වැදගත්කම ද මතු කරපු ඩොනල්ඩ් ට්‍රම්ප් පිලිබඳ ව යුරෝපා නායකයින් හිටියේ එතරම් සතුටකින් නෙමෙයි. හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල දී පවසා සිටියේ. ඩොනල්ඩ් ට්‍රම්ප් යනු පිස්සෙක් බව යි. ප්‍රංශ සහ ජර්මන් නායකයින් විසින් දැරූ අදහසත් මෙයට ම සමාන යි.

ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ යාණ්ත්‍රණයට වඩා ප්‍රතිවාදී අපේක්ෂිකාවගේ ප්‍රචාරණ යාණ්ත්‍රණය ගව් ගණනක් ඉදිරියෙන් සිටි බව ද කිව යුතු යි. ඒ ලෝකයේ ප්‍රබල ම මාධ්‍ය ආයතන වල දායකත්වය ලැබීම නිසා. සී.එන්.එන්., බී.බී.සී, නිව්ස්වීක්, රොයිටර් වැනි ඉදිරි පෙළ ජාත්‍යන්තර මාධ්‍ය සියල්ලම එකට එකතු වී ඩොනල්ඩ් ට්‍රම්ප්ට මැදි කර පහර ගැසීමේ දැවන්ත මෙහෙයුමක් සිදු කල බව පැහැදිලි යි. හිලරි ක්ලින්ටන්ගේ පෞරුෂත්වය උළුප්පා ගැනීම වෙනුවෙන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා විසින් ද මතු කල ට්‍රම්ප් විරෝධයට මෙන්ම ඇමෙරිකාවේ වෙසෙන සංක්‍රමණික ජනතාව වෙතින් ට්‍රම්ප්ට එරෙහි ව පල කරන්නට යෙදුනු ප්‍රවේගාත්මක අදහස් වලට ඇමෙරිකානු මාධ්‍ය විසින් දුන්නේ දැවැන්ත ප්‍රචාරයක්.

මැතිවරණ කාලයේ අවසන් සති කිහිපය කෙමෙන් දිස් වුණේ “මාධ්‍ය හටනක්” ලෙසින්.. කොටින්ම මෙම ඉහත කී මාධ්‍ය ජාලය විසින් ට්‍රම්ප් පිලිබඳ ව ඉතා බියකරු චිත්‍රයක් ලෝක ප්‍රජාව තුලත්, ඇමෙරිකානු ජන සමාජය පිලිබඳවත් මවා පෑවා. ට්‍රම්ප් යනු දැඩි වර්ගවාදී, ආක්‍රමණශීලී මෙන්ම කෲර ගතිපැවතුම් ඇති පුද්ගලයෙකු ලෙස යි හැඳින්වුණේ. ඇමෙරිකාවෙන් පිටත ජනතාව හීනෙන්වත් ට්‍රම්ප් ගේ ජයග්‍රහණයක් බලාපොරොත්තු නොවුණේ මේ හේතුව මත යි.

මෙවත් තත්වයක් යටතේ, පසුගිය ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණයත් සමගින් ලෝක දේශපාලනය දෙදරා ගියා.. මෙම සලිත වීම කොතෙක් ද කියනවා නම්, ලෝක කොටස් වෙළඳ පොල දැඩි සේ කඩා වැටීමට ලක් වුණේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ප්‍රකාශ වන්නටත් මත්තෙන් සිට යි. ඇමෙරිකානු ඩොලරයේ අගය සීග්‍රයෙන් පල්ලම් බැසීමකට ලක් වුණා. සෙසු බටහිර මෙන්ම යුරෝපා නායකයින් අන්දුන්කුන්දුන් වුණා. හිලරි ක්ලින්ටන් පවා සිදු වූයේ කුමක් ද කියා සිතා ගැනීමට පවා බැරිව වික්ෂිප්ත භාවයට පත් වූ අන්දම ඇය විසින් පසුගිය සතියේ නිකුත් කල ට්විටර් පණිවිඩ වලින් පැහැදිලි යි.

ඇත්තෙන් ම, ට්‍රම්ප්ගේ ජයග්‍රහණය මේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයක්..

මෙහිදී ඇත්තට ම සිදු වුණේ මොකක් ද?
ඉහත කී මාධ්‍ය ජාලය විසින් දියත් කල සැලසුම් සහගත වූත්, දැවැන්ත මෙහෙයුමට ඇමරිකාවේ බහුතර ජනතාව හසු නොවූ බව යි. මෙම මාධ්‍ය මෙහෙයුම් පිටුපස ඩොලර් බිලියන ගණනින් එහාට මෙහාට වූ බවත් නොරහසක්.. මාධ්‍ය, සල්ලි සහ බලය යන කාරණා සියල්ල ම එකට එකතු වුණත්, ඒවාට එරෙහි ව ඇමෙරිකාවේ බහුතර ජනතාව ලෝකයට පණිවිඩයක් දී තිබෙනව. එනම්, පවතින ක්‍රමය වෙනස් කිරීමට කාලය එලැඹ ඇති බව යි.

“ඇමෙරිකාව විසින් පිට රටවල් වල කටයුතු වලට අත දාන්නෙ නෑ.. හැබැයි ඒ රටවලුත් ඇමෙරිකාවේ කටයුතු වලට මැදිහත් නොවෙනවා නම් හොඳ යි. ඇමෙරිකාව තුල ඉස්ලාමයට ඉඩක් නෑ.. ඉස්ලාමය අවැසි සියල්ලෝ ඒ ඒ රටවලට පිටත් කෙරෙනු ඇති බවත්, ඇමෙරිකාව පුරා විසිරී සිටින ලතින් ඇමෙරිකානු ජනතාව ද ඒ ඒ රටවලට පිටත් කොට යවා එම රටවල් සහ ඇමෙරිකාව අතර ආරක්ෂිත බැම්මක් ගොඩනගනවා..චීනයෙන් සහ යුරෝපයෙන් ආනයන සීමා කරනවා.. රුසියාව එක්ක මීට වඩා සහයෝගයෙන් කටයුතු කරනවා.. වීදෙස් රටවල කෙරෙන ඇමෙරිකානු හමුදා මැදිහත්වීම් සීමා කෙරෙන අතරේ විදේශ සංවිධානයන්හි අරමුදල්වලට ඇමෙරිකානු දායකත්වය සැලකිය යුතු ලෙසකින් අඩු කරනවා.. මැදපෙරදිග අප විසින් ගැටළු ඇති කලා. එම රටවල් සතු ශක්තියත් අප විසින් අවතක්සේරු කරනු ලැබුවා. මැදපෙරදිග දී ගත් ඇමෙරිකානු ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන් ම අසාර්ථක යි. ලොකය තුල ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය ද අසාර්ථක යි. ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් බවට පත් කරලීම මාගේ බලාපොරොත්තුව යි. ”
මේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මතු කල සංක්ෂිප්ත අදහස යි.

ඉතින් ට්‍රම්ප් ගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පැහැදිලි වෙන්නෙ,
ඉහතින් කිවුව අර දැවැන්ත මාධ්‍ය යාණ්ත්‍රණය නොතකා ඇමෙරිකාවේ බහුතර ජනතාව විසින් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති අනුමත කරමින් ඒ සඳහා පෙළ ගැසුනු බව නොවෙයි ද? එහිදී පරජායට පත් වුණේ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ටත් වඩා පෙර කී දැවැන්ත මාධ්‍ය යාණ්ත්‍රණය යි.. ඒ වගේම, සෙසු ලෝකය පිලිබඳ ව මෙතෙක් දැරූ, ඇමෙරිකාව විසින් නිවැරදි යැයි සිතූ ක්‍රමවේදය යි. ඇමෙරිකානු බහුතර ජනතාව විසින් ලබා දුන් මෙම සුවිශේෂී පනිවිඩයෙන් කියැවෙන්නේ, එම ක්‍රමවේදය තවදුරටත් ලෝක දේශපාලනය සඳහා වලංගු නොවන බව යි.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *