වසර 68 කට පසු සුපිරි හඳක් පායයි!

supermoon_sinhalayanewsඉල් පුර පසළොස්වක පොහොය දිනය වන හෙට (නොවැම්බර් 14) පෘථිවි වාසීන්ට සුපිරි හඳක් (Super Moon) දර්ශනය වීමේ දුර්ලභ අවස්ථාවක් උදා වන බව වාර්තා වේ. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙලෙස සුපිරි හඳක් පොලොව වාසීන්ට දිස් වන්නේ වසර 68කට පසුව බව යි.

මෙහිදී චන්ද්‍රයා 14% ක ප්‍රමාණයකින් විශාල ව දිස්වන අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකි ය. මින් පෙර  මෙවැනි අවස්ථාවක් සිදුවී ඇත්තේ 1948 වසරේදී වන අතර නැවතත් මෙවැනි සුපිරි සඳක් පෘථිවි වාසීන්ට දැකගත හැකි වන්නේ 2034 නොවැම්බර් මස 25 දින බව ද ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය පවසයි.

චන්ද්‍රයා පෘථිවිය වටා  ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරන අතර එම ගමන් මාර් ගයේ    පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අවස්ථාවකදී එදින පුරපසළොස්වක පොහොය දිනයක් වුවහොත්  මේ ආකාරයට  චන්ද්‍රයා විශාලව දිස්වේ. එමෙන්ම මෙම අවස්ථාවේදී සූර්යයා පෘථිවිය සහ චන්ද්‍රයා යන ආකාශ වස්තූන් තුනම එකම රේඛාවක පිහිටයි. මේ වසරේදී අපට මෙලෙස හඳ විශාලව  දිස්වන අවස්ථාවන් තුනක් උදාවේ. ඒ ඔක්තෝබර් 16, නොවැම්බර් 14 සහ දෙසැම්බර් 14 වන අතර නොවැම්බර් 14 වෙනිදා හඳ වැඩිපුරම විශාලත්වයෙන්  දැකිය හැකි දිනයයි.

පෘථිවිය සහ චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කි.මී 384,400 පමණ වේ. නමුත් සුපිරි හඳක් දිස්වන 2016 නොවැම්බර් 14 දින  චන්ද්‍රයා සහ පෘථිවිය අතර දුර කි.මි. 356,509 ක් පමණ වේ. එක් එක් වර්ෂයේදී චන්ද්‍රයා පෘථිවියට ආසන්නව ගමන් කල දිනයන් පහතින් දක්වා ඇති අතර ඒ ඒ අවස්ථා වල පෘ‍ථිවියේ සිට චන්ද්‍රයාට ඇති දුර පිළිබඳව ඔබට අවබෝධයක් ලබාගත හැක.

2011 මාර්තු 19  356,575 කි.මී.
2012 මැයි 6  356,955 කි.මී.
2013 ජූනි 23  356,991 කි.මී.
2014 අගෝස්තු 10  356,896 කි.මී.
2015 සැප්තැම්බර් 28  356,877 කි.මී.
2016 නොවැම්බර් 14  356,509 කි.මී.
2034 නොවැම්බර් 25  356,500 කි.මී.
2052 දෙසැම්බර් 6    356,425 කි.මී.

උදම් රළ ඇතිවීමේදීද චන්ද්‍රයාගේ බලපෑමක් ඇති බව අප හොඳින් දන්නා කරුණකි. ඒ අනුව මෙදින චන්ද්‍රයා පෘථිවියට ආසන්න වීම හේතුවෙන් උදම් රළ වල වැඩිවීමක්ද සිදුවිය හැක. මෙම සංසිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කල හැකි බවත් එදින රාත්‍රී 7.30 ට පමණ අහස බැලීමෙන් චන්ද්‍රයාගේ දීප්තිය සහ විශාලත්වය වැඩිවී ඇති අයුරු  ඔබට දැකිය  හැකි වනු ඇත.

විමසීම් –
011 2586489 / 071 8563998 (සහකාර අධ්‍යක්ෂිකා – ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය)

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *