දෝෂාභියෝගය අද පාර්ලිමේන්තුවට – විනිසුරුවරුන් නිහඬයි

අග්‍ර විනිශ්චයකාර ශිරානි බන්ඩාරනායක මහත්මියට එරෙහි ව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව අද (නොවැම්බර් 06) කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී සභාවට දැනුම්දීමට නියමිත ය.

ඊයේ (05) පස්වරුවේ පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් අග්‍ර විනිශ්චයකාරවරියට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් තමාට ලැබී ඇතැයි දැනුම් දෙනු ලැබ තිබේ.

මීට පෙර පාර්ලිමේන්තුව නැවත රැස්වීමට තීරණය කර තිබුණේ ලබන 08 වැනි දා අය-වැය ඉදිරිපත් කිරීමට වුවත් පසුගිය ඔක්තෝබර් 23 වැනි දින රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2012 නොවැම්බර් 06 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කළේය. ඒ අනුව අද පාර්ලිමේන්තුව යළි රැස් ‍වේ.

අද පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එහිදී දෝෂාභියෝගය සම්බන්ධයෙන් දහදෙනෙකුගෙන් සමන්විත තේරීම් කාරක සභාවක් පත් කෙරෙන බව පැවසේ.

දෝෂාභියෝග යෝජනාවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින් අත්සන් තබා ඇතැයි ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය මාධ්‍ය හමුවක දී පැවසුවාය. එහෙත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන වාමාංශික පක්ෂයක් වන ලංකා සමසමාජ පක්ෂය වෙනුවෙන් එහි මන්ත්‍රීවරයෙකු වූ වයි.ජී. පද්මසිරි මහතා එයට අත්සන් කර තිබුණද තම මන්ත්‍රීවරයාගේ අත්සන ඉවත්කර ගැනීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව ලංකා සම සමාජ පක්ෂය මේ වනවිට ප්‍රකාශ කර තිබේ.

 ව්‍යවස්ථාවට අනුව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ 1/3ක බහුතරයක අත්සනින් ඉදිරිපත් කළ යුතුවන අතර ඒ අනුව 75කට වැඩි අත්සන් ප්‍රමාණයක් අවශ්‍ය වේ. එයට ඊට වඩා වැඩි බහුතරයක් (117) අත්සන් තබා තිබිණි.

මේ අතර ජනාධිපතිරයා වෙත සන්දේශයක් යොමුකරමින් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නාහිමි තිබ්බටුවාවේ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහ නායක උඩුගම බුද්ධරක්ඛිත, අමරපුර නිකායේ උත්තරීතර මහ නාහිමි දවුල්දෙන ඤාණිස්සර සහ රාමඤ්ඤ මහ නිකායේ මහ නායක නාපාන පේමසිරි නාහිමිවරුන් මෙවැනි දෝෂාභියෝග යෝජනාවක අවශ්‍යතාව ගැන යළිත් වරක් විමර්ශනාත්මකව සලකා බලා ක්‍රියා කරන්නැයි ඉල්ලීමක් කර තිබේ.

මේ අතර ඊයේ (05) රැස් වුණු විනිශ්චයකාරවරුන්ගේ සංගමය අග්‍ර විනිශ්චයකාර ශිරානි බන්ඩාරනායක මහත්මියට එරෙහි ව ඉදිරිපත් ව ඇති දෝෂාභියෝගය සම්බන්ධයෙන් කිසිදු අන්දමේ ප්‍රකාශයක් කිරීම හෝ ක්‍රියා මාර්ගයක් හෝ නොගැනීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *