විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයෝ අමෙරිකානු යෝජනාවට එරෙහි ව උද්ඝෝෂණ අරඹති

මානව හිමිකම් කොමිසමේ 19 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහි ව යෝජනාවක් ගෙන ඒමට එරෙහි ව විදේශගත ශ්‍රී ලාංකිකයෝ සංවිධානාත්මක ව විරෝධතා දැක්වීමට පියවර ගන්නා බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට එරෙහි ව අමෙරිකාව ප්‍රමූඛ බටහිර රටවල් මානව හිමිකම් කොමිසම ඉදිරියට ගෙන එන යෝජනාව සම්මත කර ගැනීමට එරෙහි වීමටත් මාතෘභූමිය එම රටවල අතකොළු බවට පත්වීම වැළැක්වීමටත් විදෙස්ගත ශ්‍රී ලංකා ප්‍රජාව එකාමෙන් පෙළ ගැසිය යුතු බව ඔවුහු අවධාරණය කරති.

ඒ අනුව ඊයේ (26) ඉතාලියේ මිලානෝ නුවර දී ශ‍්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට එරෙහි බටහිර බලපෑම්වලට විරෝධතා දක්වමින් වීදි බැස උද්ඝෝෂණවල නිරත වූ බව සිංහලයා පුවත් වෙත වාර්තා වේ.

මානව හිමිකම් කොමිසමේ සැසිය මාර්තු 23 වැනි දා දක්වා පැවැත්වෙන හෙයින් ජිනීවාහි මානව හිමිකම් මූලස්ථානය ඉදිරියේ දී ද විරෝධතාවක් සංවිධානය කරන බව ඔවුහු පවසති.

ලොව වෙනත් ප‍්‍රධාන නගරවල දී ද එම රටවල වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව සමඟ එක් ව අමෙරිකාව විසින් මානව හිමිකම් කොමිසම ඉදිරියට ගෙන එනු ලබන යෝජනාවට එරෙහි ව උද්ඝෝෂණ සංවිධානය කිරීමට කටයුතු කරන බව ද වාර්තා වේ.

යුරෝපයේ ශ‍්‍රී ලාංකික එකමුතු ව විදෙස්ගත ව වෙසෙන සියලු ශ‍්‍රී ලාංකිකයින්ගෙන් මේ විරෝධතාවලට එක් වන මෙන් ඉල්ලා සිටී.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *