මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවෙන් සමාව ගත යුතුය

ශ්‍රී ලංකාවට එරෙහි ව අන්තර්ජාතික ව ක්‍රියාත්මක වෙමින් පවතින කුමන්ත්‍රණයේ තිරය පිටුපස සැබෑ භූමිකාවන් කරළියට එන්නේ අද (පෙබරවාරි 27) ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සලය ඉදිරියේ දී ය.

20 වැනි සියවසේ ත්‍රස්තවාදය පැරද වූ එක ම රට ලෙස ඉතිහාසගත වූ ලෝකයේ පුංචි ම පුංචි රාජ්‍යයක ස්වෛරීත්වයට එරෙහි ව ලෝකයේ දැවැන්ත බලවතුන් කිහිපදෙනෙකු සිය මිනීමරු මෝර දත් විළිස්සාගෙන සිටී.

ඔවුන් ඒ සඳහා සිය සැඟවුණු න්‍යාය පත්‍රයන් කරළියට නොදමා, ඔවුන්ගේ යටි අරමුණු කුහක ලෙසින් සඟවා ගෙන අමූලික අසත්‍ය, ගොතන ලද, විකෘති දත්තයන් මත පදනම් ව නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී රටක, නිදහසට, ස්වෛරීභාවයට, පැවැත්මට එරෙහි ව නිර්ලජ්ජිත මෙහෙයුමක නිරත ව සිටිති.

මේ රට මෙවන් නිදහසක් සාමයක් දිනාගත්තේ ලෝකයේ මෙතෙක් පහළ වූ කුරිරුතම, ම්ලේච්ඡතම ඝාතන සිදුකළ ත්‍රස්තවාදී සංවිධානයක් කිසිදු විදෙස් හමුදාවක සහයක් නොගෙන පරාජයට පත්කරමිනි.

එල්ටීටීඊය නම් වූ එම කුරිරු ත්‍රස්ත සංවිධානය ලොව පුරා මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා සමුදායකින් සමන්විත ව ක්‍රියාත්මක වූ ජාලයක් වූ බව ඔවුන් නොදන්නේ නො වේ. මවුබිමේ දී පරාජයට පත් වුව ද විදේශවල සිට එය තවමත් ක්‍රියාත්මක වන බව ද ඔවුන් නොදන්නවා නො වේ. එම විදේශගත ව සිටින කොටි ඩයස්පෝරාවේ වුවමනාවන් සපුරාලීමට අද ලොව උතුම් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් යැයි කියා ගන්නා බටහිර රටවල් කරළියට එන්නේ ලෝකය ඉදිරියේ නිර්වස්ත්‍ර වී තම හෙළුව අතින් හෝ නොවසා ගෙනය.

30 වසරකට ආසන්න කාලයක් ත්‍රස්තවාදයෙන් බැට කෑ රටක් ඉන් නිදහස් කර ගනිමින් ජනතාවටත් රටටත් සාමය උදා කරදීම වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය දීම වෙනුවට මානව හිමිකම් යන කඩතුරාවට මුවා වී එම රාජ්‍යය කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත් සේනාධිනායකයා ඇතුළු රණ විරුවන් අන්තර්ජාතික අධිකරණයකට ගෙන යාමට මේ දරණ උත්සහය ලෝක ඉතිහාස පොතේ සටහන් වනු ඇත්තේ ඔවුන්ගේ ආත්මයන්ට ද සාප කරමිනි.

එක්සත් ජාතීන්ගේ සමුළුව අද ක්‍රියාකරන්නේ එය පිහිටුවාගත් අරමුණුවලට ද යන පැනය එහි සාමාජික රටවල් විසින් සංගායනාවක් පවත්වා තීරණය කළ යුතු අවධියකට ලෝකය එළැඹ තිබේ.

ලෝකයේ යුද්ධ ඇතිවීම වැළැක්වීමට කටයුතු කළ යුතු එක්සත් ජාතීන්ගේ සංවිධානය අද සහයෝගය දෙන්නේ ඊට හාත්පසින් ම වෙනස් ආකාරයකටය. ලිබියාව සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය ගැන අන්තර්ජාතික අධිකරණයට කැඳවිය යුත්තේ ඔවුන්ය. ලිබියාවට මානුෂීය ආධාර සපයන යෝජනාවක් සම්මත කරගත් බලවත් ජාතීන් සිදු කළේ කුමක්ද? ලිබියාවේ රාජ්‍ය නායකයාට එරෙහි කණ්ඩායමට යුද අවි සැපයීමය. වර්තමානයේ මානුෂීය ආධාර යනු යුද අවි සැපයීමය. ලිබියානු රාජ්‍ය නායකයා වසර ගණනාවක් තිස්සේ ඒකාධිපති නායකයෙකු ලෙස කටයුතු කර ඇතත් දුගී දුප්පත් නූගතුන්ගෙන් පිරි රාජ්‍යයක් ව තිබූ ලිබියාවත් එහි ජනතාවත් සුඛිත මුදිත කරන්නට ඔහු අතීතයේ කටයුතු කළ ආකාරය අමතක කළ යුතු නො වේ. එවන් රාජ්‍ය නායකයෙකු සිය මතයට එරෙහි ව කටයුතු කළ නිසා මහමඟ ඇදගෙන යමින් මරාදමන තත්ත්වයට එම රටේ ජනතාවට (මානුෂීය) ආධාර සැපයීමට බටහිර බලවතුන් ක්‍රියාකළ ආකාරය ඔවුන්ගේ න්‍යාය පත්‍රයට කටයුතු කරන මාධ්‍ය නාලිකාවලින් ම ලෝකයට පෙන්වා දුන් ආකාරය අපට මතකය.

2009 ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙවර අවසන් සමයේ මානුෂීය ආධාර සහිත නැවක් ත්‍රස්තවාදීන්ට එවන්නට මේ රටවල් කටයුතු කළ ආකාරය අපට මතක තිබේ. එම නෞකාවේ ද තිබෙන්නට ඇත්තේ ලිබියාවට සැපයූ ආකාරයේ මානුෂීය ආධාර විය හැකි ය. එම නෞකාව අපගේ මුහුදු සීමාවට ඇතුළු වුවහොත් එයට පහර දෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාව එදා පැවසූ බව අපට මතකය. මේ සියලු දෙයින් පෙනී යන්නේ ලෝකයේ පුංචි ම පුංචි රටක වුව ද පවතින කෙතරම් දරුණු වූ ත්‍රස්තවාදයක් වුව ද සමාප්ත කරන්නට බටහිර බලවතුන් ඉඩ නොදෙන බවය. නැතිනම් එය කළ යුත්තේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට ම අනුව පමණක් බවය. එසේ නොකර දේශජ න්‍යායපත්‍රයකින් එය සපුරා ගතහොත් ඒ රටට හිස ඔසවන්නට නොදෙන බවය. එම රටේ අහිසංක මහජනතාව දශක තුනක් තිස්සේ ගම්බිම්වල දී, පූජනීය ස්ථානවල දී, මහමඟ දී මරා දමමින් මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කරමින් කළ සියලු ඝාතන සාධාරණ බව ය. එම කුරිරු ත්‍රස්තයින් සටන්භූමියේ කළ සටන්වල දී මියගිය විට ඔවුන්ගේ මරණ සිදු වූ ආකාරය ගැන සැකසංකාවන් තිබෙන බවය.

එසේ නම් අමූලික අසත්‍ය බොරුවක් ගොතාගෙන ඉරාකයට ඇතුළු වී එහි සාමාන්‍ය ජනයා හයලක්ෂ හැත්තෑපන් දහසකට වඩා ඝාතනය කළ අමෙරිකානු හමුදාව ඉරාකය වෙනුවෙන් මානව හිමිකම් කවුන්සලය ඉදිරියට ගෙන එන්නේ කවදා ද? ඔවුන් ඇෆ්ගනිස්ථානයේ, පකිස්ථානයේ සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම ගැන චෝදනා මානව හිමිකම් කවුන්සලයට ගෙන එන්නේ කවදා ද? අමෙරිකාව මේ වනවිට ලෝකයේ රටවල් රැසක් ආක්‍රමණය කර ඇත. පරමාණු බෝම්බය අත්හදා බලන්නට හිරෝෂිමා, නාගසාකි නගර සමතලා කර දැමුයේ එහි ජීවත් වූ දසදහස් ගණන් අහිංසක ආසියානුවන් ගැන තඹ දොයිතුවක් මායිම් කර නො වේ.

මහජන චීනය කිසිදු අවස්ථාවක කිසි ම රටක් ආක්‍රමණය කර නැති බව සිහිපත් වන්නේ එවිට ය. මහජන චීනයේ කතාවක් ඒ සමග ම සිහිපත් වේ. අපට කිසිදු රටක බිම් අඟලක් හෝ අවශ්‍ය නැත. නමුත් අපේ රටේ බිම් අඟලක් හෝ අප අනෙකෙකුට දෙන්නේ ද නැත. ඔවුන් සටන් කර ඇත්තේ තම රටේ අයිතිය දිනාගැනීම සඳහාය.

ශ්‍රී ලංකාව ද එසේ ම ය. බටහිර ජාතීන්ගේ න්‍යාය පත්‍රයට අනුව ත්‍රස්තවාදීන් උපයෝගී කර ගෙන බෙදා වෙන්කරන්නට ගිය රටක් එම රටේ ම හමුදාව විසින් එම ත්‍රස්තවාදීන් පරදවා නිදහස් කර ගැනීමෙන් තම රටේ ස්වෛරීභාවය රැකගැනීමේ වරදට දැන් චෝදනා එල්ල වී ඇත.

ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාව ම මිස ඉරාකයවත්, ඇෆ්ගනිස්ථානයවත්, ලිබියාවවත් නො වේ. නිසි කලට මහ මැතිවරණ හා ජනාධිපතිවරණ පවත්වමින් ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් ජනතාවගේ බහුතර කැමැත්තෙන් පත් වූ රාජ්‍ය නායකයෙකු පාලනය කරන පාර්ලිමේන්තුවට වගකියන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ස්වෛරී රාජ්‍යයකි.

එම මානුෂීය මෙහෙයුමේ දී ශ්‍රී ලංකා හමුදාවන්ට යටත් වූ හෝ අත්අඩංගුවට පත් වූ ත්‍රස්තවාදීන් සියලු දෙනා පුනරුත්ථාපනය කර ඔවුන් සමාජගත කිරීමට කටයුතු කර තිබේ. ඔලාරා ඔටුනු මෙරටට පැමිණි විට ළමයින් හමුදාවට බඳවාගන්නේ නැතැයි ගිවිසුම්වලට එළැඹුණු එල්ටීටීඊයේ සිටි ළමා සොල්දාදුවන් මානුෂීය මෙහෙයුමේ දී බාර වී තිබුණි. ඔවුන් පුනරුත්ථාපනය කරන සමයේ දී ම අධ්‍යාපනය දෙමින් අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට ද යොමු කෙරිණි. යාපනය විහ්වවිද්‍යාලයේ සිටිය දී එල්ටීටීඊයට බැඳුණු දරුවන් යළි යාපනය සරසවියට ඇතුළත් කර උසස් අධ්‍යාපනය ලබාදෙන්නට රජය කටයුතු කර තිබේ. එම දරුවන්ගේ ළමා කාලය පැහැර ගනිමින් ඔවුන් ළමා සොල්දාදුවන් බවට පත් කළ එල්ටීටීඊයට එරෙහි ව මානව හිමිකම් ගැන කතා කරන්නේ කුමන බලවත් ජාතීන් ද?

මානුෂීය මෙහෙයුමේ දී අවතැන් වූ ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මේ වනවිට නැවත පදිංචි කර අවසන් කර තිබේ. ලෝක ඉතිහාසයේ එක් වර අවතැන් වූ ඒසා විශාල පිරිසකට ආහාර හා නවාතැන් දීමේ කාර්යය ලෝකයේ කිසි ම බලවත් රාජ්‍යකින්වත් වාර්තා වී නැත. එසේ ම එතරම් විශාල පිරිසක් නැවත පදිංචි කිරීමේ කාර්යය වසර තුනකට අඩු කාලයකින් සාර්ථක ව ඉටු කර ඇත. දැන් එම ජනතාව හා එම පළාත් සංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ. මේ ශ්‍රී ලංකාව කර ඇති වරදවල් ය. මේවාට බලවත් ජාතීන්ගේ ප්‍රසාදයක් නැත. ඔවුන් කියන විදියට කරමින් මේ රටේ භූ සම්පත් හා ඛනිජතෙල් නිධි ඔවුන්ට ලබාදුන්නා නම් මේ කිසි චෝදනාවක් අප රටට එල්ල වන්නේ ද නැත.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බන්කී මුන් පත්කරන ලද දරුස්මාන් කමිටුවට ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම ගැන විමසීමට ඇති බලය කුමක් ද? එවන් කමිටුවක් පත් කරන්නට මහලේකම්ට ඇති බලය කුමක් ද ? එය එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කළ කමිටුවක් නො වේ. තමා පත් කළ පෞද්ගලික කමිටුවක් අදාළ රටටවත් පය නොතබා දමිළ ඩයස් පෝරාවේ සාක්කි මත අඳුරේ අතපතගා සකස්කළ වාර්තාවකට අනුව ස්වෛරී රාජ්‍යයකට කරන බලපෑම ලෝකයේ සෙසු රටවල් පිළිගත යුතු ද? මේ දරුස්මාන් කමිටුවට ගෙවීම් කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද? තමාට උපදෙස් ගන්නට තමා විසින් පත් කරන ලද පෞද්ගලික කමිටුවකට එසේ ගෙවිය හැකි ද?

දැන් බන් කී මූන්ට දරුස්මාන් වැනි කමිටු කිහිපයක් පත් කරන්නට අවස්ථාව උදා වී තිබේ. ඉරාකය, ඇෆ්ගනිස්ථානය හා ලිබියාව සම්බන්ධයෙන් ද කමිටු පත් කර උපදෙස් ගත හැකි ය. ඒ රටවල සිදු ව ඇති ලක්ෂ ගණන් ඝාතන ගැන මානව හිමිකම් විශේෂ සැසිවාරයක් කැඳවිය හැකි ය. එසේ කර එම රටවලට යුක්තිය පසිඳලන්නේ නම් බන් කී මූන්ට ද නොබෙල් සාම ත්‍යාගය ලබා ගත හැකිවනු නොඅනුමානය. නොඑසේ නම් මේ බලවත් ජාතීන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලවා කොස් ඇට බෑවීම දැන්වත් නතර කළ යුතු ය.

මේ සියලු ගෝලීය තත්ත්වයන් සලකා බලන විට නවනීදන් පිල්ලේගේ මානව හිමිකම් කොමිසම සේවය කරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයට ද ? නැතිනම් රටවල් කිහිපයක න්‍යායපත්‍රයකට ද? යන සැකය මතු වේ. එසේ කටයුතු කරන්නේ නම් එය ලජ්ජාසහගතය. ලෝකයේ සාධාරණත්වය වෙනුවෙන් සියලු ජාතීන්ගේ එකමුතුවෙන් පිහිටුවාගත් සංවිධානයක් අද පත් ව ඇති තත්ත්වය එය නම් ශ්‍රී ලංකාව තම රටට සාමය උදාකර ගැනීමෙන් පසු ව එරටට කර ඇති කෙනෙහෙළි සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවෙන් සමාව ගත යුතුය. ඒ  කෙසේ වෙතත් බන් කී මූන්ගේ හා නවනීදන් පිල්ලේගේ දෙබිඩි පිළිවෙත දැන් ලොවට ම හෙළි වී හමාරය.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

3 Responses to මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවෙන් සමාව ගත යුතුය

  1. ඔය ෆොටෝ එකේ ඉන්න වහුකුනිච්චිට කනට දෙකක් දෙන්න කවුරුත් නැද්ද? පට්ට ……සි

  2. anivaarayen samaava gatha yuthuya.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *