මේ රටේ විදුලි හොරු මට්ටු කළ නොහැකි ද?

පාඩු ලබමින් රටට ම විදුලිය දෙන ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය ජනවාරි මාසයේ කරන ලද වැටලීම්වලින් අයථා ලෙස විදුලිය ලබාගත් 331 දෙනෙකු අල්ලාගෙන ලක්ෂ 215ක මුදලක් උපයාගෙන තිබේ.

මේ රටේ ජනතාවට විදුලිය ලබාදීම සිදු කරන්නේ සේවාවක් ලෙස සලකා පාඩු විඳිමිනි. 2012 දී පමණක් සිදුවිය හැකි අලාභය බිලියන 51ක් ලෙස ගණන් බලා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය. එම පාඩුව අවම කිරීම සඳහා වියදම් කපා හැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව  ද අමාත්‍යවරයා පැවසීය.

මීටර් වෙනස් කිරීම්, කොකු භාවිත කර විදුලිය ලබාගැනීම් වැනි වංචනික ක්‍රියා සිදුකරන විදුලි හොරුන් මට්ටු කිරීමේ නිසි පිළිවෙතක් රටට ඉදිරිපත් කිරීමට රජය වහා ම පියවර ගත යුතු ව ඇත. ඒ සඳහා දැනට අයකරන උසාවි දඩ හෝ මණ්ඩලයේ අලාභයන් ප්‍රමාණවත් නො වේ. මෙවැනි දඩ මඟින් මේ වංචනික ක්‍රියාවන් අධෛර්යමත් නො වේ.

කඩිනම් මහවැලිය ආරම්භ කරන කාලයේ පාලකයින් පැවසුවේ අපට ඉන්දියාවටත් විදුලිබලය දිය හැකි බවය. නමුත් මේ වනවිට ලංකාවට ප්‍රමාණවත් තරමින්වත් ජල විදුලිබලයක් නිපදවිය නොහැකි ය. තාප බලාගාර හා ගල්අඟුරු බලාගාර ක්‍රියාත්මක වුව ද ඒවා සඳහා දරන වියදම මේ රටට ඔරොත්තු දිය හැකි මට්ටමක නොපවතී.

උතුරු නැඟෙනහිර පළාත් ත්‍රස්තයින්ගේ ග්‍රහණයට ලක් ව තිබූ සමයේ එම පළාත්වල කිසිදු වැටලීමක් කළ හැකි ව නොතිබුණි. දේශීය නිෂ්පාදිතයට එම පළාත්වලින් ලැබුණු දායකත්වයක් තිබුණේ ද යන්න සැක සහිතය. තිබුණේ වියදම් ම පමණකි.

එම පළාත්වල විදුලි වංචා මෙන් ම මෝටර්රථ ආදායම් බලපත්‍ර නොගැනීම වැනි රටේ දකුණේ ක්‍රියාත්මක වූ නීතිරීති ක්‍රියාත්මක නො වූ නිසා ඒ කාලය තුළ රටට සිදු වූ පාඩුව මෙතෙක් ගණනය කර නැත.

අයථා විදුලි පරිහරණය කිරීම් ගැන පසුගිය ජනවාරි මාසයේ දින හතරක දී පමණක් (28, 29, 30 සහ 31) යාපනය ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලින් රුපියල් ලක්ෂ 93කට ආසන්න ආදායමක් රජයට ලබාගත හැකිවිණි.

විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයෙන් 2011 දෙසැම්බර් සිදුකළ වැටලීම්වලින් ලබාගත් ආදායම රුපියල් මිලියන 12 ඉක්මවා තිබුණි.

මේ ආකාරයට බලන විට රටේ සෑම පැත්තකින් ම අයථා විදුලි පරිහරණය කිරීම් ගැන පසුගිය වසර පුරා ම වාර්තා විණි. මීට වඩා වැඩි අවධානයක් මේ සඳහා යොමුකළ යුතුවා පමණක් නො ව පාර්ලිමේන්තුව මඟින් නව නියමයන් පනවමින් මේ විදුලි හොරුන්ගේ දේපොළ පවරාගෙන ප්‍රසිද්ධියේ වෙන්දේසි කළ යුතු ව ඇත. මේ රටේ පොදු ජනතාව තමන් හරිහම්බ කරන තුට්ටුදෙකින් අමාරුවෙන් විදුලිබිල් ගෙවද්දී රටේ ජාතික සම්පත් හොරකම් කරන හොරුන්ට හංවඩු ගැසිය යුතු ය.

අවස්ථා 02ක දී වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ගේ විදුලි සබඳතා යළිත් ලබාගත නොහැකි පරිදි විසන්ධි කරන බව මණ්ඩලය පවසයි. එසේ කිරීම කිසිසේත් ප්‍රමාණවත් නො වේ. හිරගෙවල්වල දැමීමෙන් සිදුවන්නේ මේ රටේ දුප්පත් බදු ගෙවන ජනතාවගේ මුදලින් ම ඔවුන් යළිත් නඩත්තු කිරීමට සිදු වීමය. ඔවුන්ට දිය යුත්තේ ඊට වඩා වෙනස් දඬුවම් ය. නව විදුලි සබඳතා දෙන තැන්වල විදුලිකණු සිටුවීමේ වලවල් හාරන්නට දිය යුත්තේ ද ඔවුන්ට ය. විදුලිකණු නිපදවන එළිමහන් සිරකඳවුරක් ඇතිකර ඒවායේ බර වැඩට දැමිය යුතු ය. විශේෂයෙන් මේ දඬුවම් උපරිම ව දිය යුත්තේ විදුලි වංචාවලින් අසුවන වෙළෙඳ ව්‍යාපාරිකයින්ට ය.

පාරිභෝගිකයන් ගසා කනවා මදිවාට ඔවුන් රටේ ජාතික ධනය ද සොරාකමින් රටට දැයට සිදුකරන විපතට මේ දඩමුදල් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ද වගකිවයුත්තන්ගේ අවධානයට යොමු විය යුතු ය.

- සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>