2/3 ආණ්ඩුවක ලැජ්ජාව ගැනයි.. – කොන්ද පණ ඇති, බුද්ධිමත් ආණ්ඩුවක් ඕනෑකර තිබේ.!

ජනපතිවරයා, ඇමතිවරු, රාජ්‍ය නිලධාරී මාෆියාව, බූරු උපදේශකයන් සහ ව්‍යාජ රාජතාණ්ත්‍රිකයන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ම පඹ ගාලක පැටලී සිටී. බහුතර ජනතා ඡන්දයෙන් පත් වූ ආණ්ඩුවක ගමන් මග අතිශයින් ඛේදනීය තත්වයකට පත් ව ඇති බවක් පෙනෙන්නට තිබේ. ඇමතිවරු ද, ඔවුහු යටතේ සිටින නිලධාරී මාෆියාව ද, ප්‍රශස්තිකරුවන්ගෙන් ද පාලනය වන වත්මන් ආණ්ඩුව කෙමෙන් ජනතාවගෙන් ඉවතට දෝලනය වෙමින් පවතින්නේදැයි සිතේ.

මෑත කාලයේ දී මහින්ද මහත්තයාගේ තුනෙන් දෙකේ ආණ්ඩුව මුහුණ පෑ ප්‍රශ්ණ ආකරයකි. මුහුණ දෙන්නට නියමිත ව ඇති ප්‍රශ්ණ ද එමට ය. තව ටිකක් බුද්ධිමත් ව කටයුතු කලා නම්, මේ ප්‍රශ්න බොහෝමයක් විසඳා ගත හැකි ව තිබුණු බව මෙරට සාමාන්‍ය ජනතාවට ද පසක් වී හමාර ය. මේ සියළු දෑ වනාහී ආණ්ඩුවේ අනිසි කළමණාකරණය නිසා ඇති වූ ඒවා ය. වැඩ කල හැකි අය නොසලකා, වැඩබැරි ටාසන්ලා හෙවත් ප්‍රශස්තිකාර නිකමුන් රෑණක් ජනතාවගේ ජනපතිවරයා වටා එක්කාසු කර ගැනීමේ විපාකයෝ ය,. මහින්ද මහත්තයාට වුවද, ඔහු මේ රටේ “ජනතාවගේ ජනපති බව” යළිත් මතක් කර දිය යුතු තැනට ම කරුණු කාරණා යෙදී තිබේ. දැන් සිටින්නේ ඔහු මේ රටේ සිදු වන දෑ ගැන කිසිදු දැනීමක් නැත්තෙකු ලෙස ය. කතා කරන්නේ ද එළෙස ම ය.

වර්තමානයේ දී රටේ ඕනෑම ප්‍රශ්නයක් කුරුවල් වේ ගෙන එද්දී ජනපතිවරයා එයට මැදිහත් වේ. එල්වළු කූඩ ප්‍රශ්ණයේ දී කූඩ ගැන වෙනම කතා කරන්නට ජනපතිවරයාට සිදු වේ. ඇමතියෙක් සහ නිලධාරී රෑනක් ම සිටිද්දී රටේ ජනපතිවරයා ම “කූඩ ගැන” කතා කල යුතු ද? විභාග ප්‍රථිපල අවුලේ දී ජනපතිවරයා එයා මැදිහත් වේ.. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඇමතිවරු කිහිපදෙනෙක් සහ නිලධාරීන් සේනාංක පිටින් සිටිද්දී, ජනපතිවරයා ම ඒ වෙනුවෙන් මැදිහත් වේ., තවත් දිනෙක සිය ව්‍යායාම කටයුතු සඳහා කොළඹ ගාළු මුවදොර ප්‍රදේශයට යන ජනපතිවරයා දකින්නේ සෑම තැනම කුණු ගොඩ ගැසී ඇති අන්දම යි. සැණෙකින් ක්‍රියාත්මක වන එතුමාගේ ජංගම දුරකතනයෙන් අදාල අංශ වලට නියෝග ලැබේ. දුරකතනයෙන් නියෝග දෙන අන්දම ඡායාරූපගත කර මාධ්‍ය වෙත නිකුත් කිරීම ද සැණෙකින් සිදු වේ.. රටේ ජනපතිවරයා විසින් නියෝග ලබා දෙන තෙක් නිලධාරීහු කුමක් කලෝ ද? එසේම, අනුරාධපුර වැව් බැමි වල ඇවිදින්නට යන ජනපතිවරයාට එම ප්‍රදේශවාසීන් විසින් අබලන් වූ පාර ගැන ඔත්තු සපයයි.. ඔත්තුවට කලින් ඒ මාර්ගයේ ම ගමන් කරන ජනපතිවරයා පවා මාර්ගය අබලන් බව නොදකී. ජනතාව පිරිවරා ගත් සැණින් වහාම තම දුරකතනයෙන් අදාල අය ව අමතන ජනපතිවරයා විසින් උපදෙස් දෙන්නේ වහාම මෙම මාර්ගය සාදා නිම කරන ලෙස ය. ඒ දෙස බලා සිටි ගම් වැසියෝ ප්‍රීතියෙන් සුඛිත මුදිත වී ජයඝෝෂා නගති..

එහෙත් එම සිදුවීම පුවත් ඔස්සේ දකින සෙසු ජනතාවට නම් බාල මට්ටමේ වීදි නාට්‍යයක් බව නොකිව මනා ය. මෙවන් තත්වයන් රටක ජනපතිවරයෙකු හට තරම් නොවේ.

උදාහරණයක් ලෙස එම මාර්ගය අබලන් බව ජනපතිවරයාට පෙර ග්‍රාමසේවකගේ සිට ප්‍රදේශීය ලේකම්, පලාත් සභා, ප්‍රාදේශීය සභාවල ඇමතිවරු, ආණ්ඩුකාරවරු නොදැන සිටියෝ ද? ඔවුහු ඇත්තේ වැඩ කිරීමට ය. වැඩ කිරීමට ඇති තැන් හඳුනාගෙන ක්‍රියා කිරීමට ය. ජනපතිවරයා විසින් අදාල මාර්ගය ප්‍රතිසංස්කරණයට උපදෙස් දෙනතුරු ඒ ප්‍රදේශය භාර දෙස්පළුවෝ සහ රාජ්‍ය පඩි කන නිලධාරීන් සිය ගණනක් පොල් ගෑවෝ ද?

එහෙත්, සිදු වූ වැරදි සෙවීම වෙනුවෙන් කොමිෂන් සභා පත් කල ද, දඬුවම් ලැබූ අයෙක් නම් තවමත් නැත.. අම්බානට වැරදි වෙන තරමට ම ඒ වැරදිවලට වගකිවයුත්තෙක් නැති එකම රට ද මේ ය. එක් එක් කාර්යය සඳහා එක් එක් වශයෙන් ඇමැත්තන් පත් කර ඇත. අමාත්‍යංශයක් නැත්තේ නම් අමාත්‍යංශ කුඩා කැබලි වලට කඩා හෝ අළුතින් ඇමැත්තන් නිර්මාණය කල තරබාරු ඇමති මණ්ඩලයක් තිබිය දී ඒ තොත්ත බබාලා කිසිවෙකුට හරි හැටි තම අමාත්‍යංශය පාලනය කර ගත නොහැකි අන්දමක් දිස් වෙයි. ඇමතිවරු/නිලධාරීන් හරියට වැඩ කරනවා නම්, ජනපති මැදිහත්වීම් කුමට?

නිලධාරීන් වැඩ නොකරත් නම්, වගකීම් පැහැර හරිත් නම්, ඇමතිවරුන් පිස්සන් මෙන් හැසිරෙත් නම්, එවුන් කනින් අල්ලා දොට්ට දමීම වෙනුවෙන් මෙරට ජනතාව විසින් වගකිවයුතු ජනපතිවරයෙක්ට බලය පවරා දී ඇත. ඒ නම් සුළු බලයක් නොව තුනෙන් දෙකේ බහුතර බලයකි. ජනතාව ජනපතිවරයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙවන් වීදි සංදර්ශණ නොවේ. වැඩ සහ කිඩ ය.

දැන් මේ රටේ කිසිදු කාර්යයක් නිසි ලෙස සිදු නොවේ. නිලදරුවන් ලෙස සිටින අම්බරුවන් තම මඩිය තරකර ගන්නවා විනා වෙනත් කිසිවක් නොසොයති. අමාත්‍ය මණ්ඩලයේ සිටින්නේ ද තක්කඩින් පිරිසකි. තමන් යටතේ සිටින නිලධාරීන් කරන කියන දේ නොදන්නා, ඔවුන්ව පාලනය කළ නොහැකි ඇමැත්තන් ගෙන් ඇති ඵලය කිම?

නොබෝදා ඇති වූ පෞද්ගලික බස් රථ පලහිලව්වේ දී පෞද්ගලික ප්‍රවාහන ඇමති සී.බී. රත්නායක කිවේ බස් ගාස්තු කිසි විටෙක වැඩි නොකරන බවයි. නමුත් පසු දා “ඉහළින් ආ ඕඩර්” මගින් සියල්ල වෙනස් වී බස් ගැමුණු දින්නේ ය. දකුණු අධිවේගයට පෞද්ගලික බස් දමන්නට නොදෙන්නේ යැයි ඇමති සී.බී. රත්නායක කල ප්‍රකාශය ද, පසුව හකුලා ගන්නට විය. “බස් ගැමුණුට” මේ සා අවනත වී රටේ දුප්පත් ජනතාව පීඩා කිරීමට ආණ්ඩුව උත්සුක වන්නේ ඇයි? කොන්ද කෙළින් තබාගෙන රාජකාරි කරන්නට නොදෙන්නේ නම් ඇමතිවරයෙකුට අමාත්‍යංශයක් භාර දීමේ ඇති අවශ්‍යතාව කුමක් ද? කලින් අවස්ථාවක දීත් සී බී රත්නායක මහතාට ක්‍රීඩා ඇමතිකම නැති වූයේ ද ක්‍රිකට් ආයතනය ගැන ඇත්ත කියන්නට යාමෙනි.

නීතියක් නම් නීතියක් විය යුතු ය. එය බලාත්මක කරන්නට නම් නිසි පාලකයින් සිටිය යුතු ය. එරට පාලකයින් ද අයාලේ නාස්තිකාර ගමනක් යත් නම්, මෝඩ තකතීරු නිලධාරීන් යකා නැටීම පුදුමයක් නොවේ. එවිට රටේ නීතිය යන්නේ ද බල්ලාට ය. වර්තමානයේ දී මෙරට නීතිය ක්‍රියාත්මක වීම පිලිබඳ ව ද මෙරට ජනතාවට දැඩි ප්‍රශ්ණාර්ථයක් මතු ව තිබේ. රටක නියම සංවර්ධනයක් වේ නම් පලමුවෙන් ම එරට වැසියෝ නීතියට ගරු කල යුතු ය. පාලකයාගේ සිට දුප්පත් ම වැසියා දක්වා නීතිගරුක නම්, එරට ප්‍රජාතන්ත්‍රවාදය රජ කරයි. කඩිමුඩියේ ඉදිවන අධිවේගී මාර්ග, වරාය හෝ ගොඩනැගිලි වලින් රටක තාවකාලික භෞතික සංවර්ධනයක් දැකිය හැකි වුවත්, එරට වැසියෝ නීති ගරුක නොවේ නම්, එම භෞතික සංවර්ධනයේ ද නියම පල නෙළා ගත හැකි නොහේ.. සමස්ථ ක්‍රමය ම එකම අවුල් ජාලයක් බවට පත් වී ජනතාව දිනෙන් දින පිරිහීමට එය හේතු වේ. කණගාටුවෙන් වුවද සඳහන් කල යුතු වන්නේ, වර්ත්මාන ශ්‍රී ලංකාවේ ගමන් මග ද එම පිරිහීමේ මාර්ගයෙහි ම වැටී බව ය.

තව ටික දිනකින් ජිනීවා මානව හිමිකම් සැසිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් කට ඇරිය හැකි අයවළුන් සොය සොයා සිටීමට ආණ්ඩුවට සිදුව තිබේ. පෙර දී නම්, මෙරට වෙනුවෙන් පෑන් මෙහෙයවීමට, කටවල් ඇරීමට සහ කටයුතු කිරීමට ඕනෑ තරම් දේශප්‍රේමීහු මෙරටෙහිත්, ලොව පුරාත් සිටිය හ. නමුත්, අද ඇත්තේ එම තත්වය නොවේ. අධිරාජ්‍යවාදී රටවල්, ඔවුන්ගේ සංවිධාන සහ මෙරට ද්‍රෝහී කේලාම්කරුවන් විසින් මෙරට ආණ්ඩුව හුදෙකලා කොට ඇත. එහෙත් ආණ්ඩුව සහ ජනපතිවරයා වටා බුරුතු පිටින් සිටින ප්‍රශස්තිකාර නිකමුන්ට නම් ගාණක් නැති හැඩ ය. මක්නිසාද, උන් දන්නා මගුලක් නැති හෙයිනි. පාලකයන් විසින් (ඔවුන්ව පාලකයන් ලෙස අභිෂේක කල) දේශප්‍රේමී බලවේග නොසලකා හරිමින් ප්‍රශස්තිකාරයින් ව ම පෝෂණය කරමින් සිටින නිසා ය. අද මේ රට මෙහෙයවන්නට රජයට උපදෙස් දෙමින් සිටින්නේ තමන් කරන කියන දෑ ගැන හෝ කිසිම අවබෝධයක් නැති ප්‍රශස්තිකාර පල් බූරුවන් පිරිසකි. කණගාටුවට මෙන් ජනපතිවරයා ද උන්ට අසු වී තිබීම ඛේදජනක ය. දැන් ආණ්ඩුවට උපදෙස් දෙන්නේ යුද සමයේ මෙරටින් පැන ගොස්, යුද්ධය දිනීමට හැකියාවක් නැතැයි කී රොහාන් ගුණරත්නලා ය. අනෙක් අතින් එදා රනිල් මහත්තයාට ඇති පදමින් ලණු දුන් සමස්ථ රොත්ත බුරුත්ත ම ය,.

ඉන්ධන මිල වැඩිවීමත් සමග බඩු භාණ්ඩ, සේවා සියල්ලේ ම ගාස්තු ඉහළ යාම නැවැත්විය නොහැක. බස් ත්‍රස්තවාදීහු ද බලහත්කාරයෙන් ඔවුන්ගේ ඉල්ලීම් ලබා ගෙන තිබේ. රටේ සෙසු ආයතන විසින් ද එසේම ඉල්ලීම් කරමින් තිබේ. ධීවර ජනයා ද මේ ලියන මොහොතේත් පාරේ ය. (දැනටමත් එක් ධීවරයෙක් සිය ජීවිතයෙන් වන්දි ගෙවා තිබේ.. ) තත්වය මෙසේ නම්, ඉදිරි දිනෙක සියල්ලෝ ම තම තමන් වෙනුවෙන් පාරට බසිනු ඇත. මේ රැල්ල කොතනින් කෙළවර වේ දැයි අපට පෙනුන ද ආණ්ඩුවට නම් ඒ පිළිබඳ වගේ වගක් නැත්ත සේ ය. මෙය හොඳ තත්වයක් නොවේ. මේ කියන්නේ තුවක්කුවෙන් ජන හඬ මැඩීමට නොවේ. බුද්ධියෙන් විසඳන්නට ය. නීතිය, නීතිය ම ලෙස ලොකු කුඩා සියළු පුරවැසියාට ම එක සේ ක්‍රියාත්මක කරන ලෙසට ය. නීති ගෙන එන්නේ නිවටයින් සේ අකුළා ගැනීමට නොවේ. නීති ගෙන ඒමට කලින් සියළු ජනතා නියෝජිතයින්ගේ සහයෝගයෙන් ඒවා කෙටුම්පත් කල හැකි ය. ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික බව සොයා බැලිය හැක. පක්ෂ විපක්ෂ අදහස් විමසිය හැකි ය. සෙසු රටවල ක්‍රමවේද පිලිබඳ ව හැදෑරීමක් කල හැකි ය. (හදාරන්නට කියා එම රටවලට යන අපේ රාජ්‍ය නිලධාරීන් කරන්නේ වෙන වැඩ ය..) එහෙත් දැන් මේ ආණ්ඩුව සියළු දේ හිතූ මනාපෙට කරන්නට ගොස් ඇති පදමින් නා ගනිමින් සිටියි..

නමුත් පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ද සතුව තිබිය දී පතොල සේ ඕනෑම අතකට ආණ්ඩුවක් නැමේ නම් ඊටත් වඩා ලැජ්ජාවක් තවත් තිබේ ද ?

- සිංහලයා පුවත්
( බූටෑවේ රාළ වන මවිසින් අබුද්දස්ස කාලේ හතර කොණ හිංගලයින් වෙත ලියා දැන් වූ වගකි…)

 

අදාල සෙසු පුවත්/ ලිපි හෝ විශේෂාංග:

 

Shortlink:

Share This Post

2 Responses to 2/3 ආණ්ඩුවක ලැජ්ජාව ගැනයි.. – කොන්ද පණ ඇති, බුද්ධිමත් ආණ්ඩුවක් ඕනෑකර තිබේ.!

  1. api dan parakku wediy mata hithena widyata. anduwa me yana widiya nam echcara honda na
    good article!

  2. Good article. an eye opener for the government if at least they pay attention.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>