මහ බැංකු බෝම්බ ප්‍රහාරයට 16 වසර පිරෙන දා අනුස්මරණ ස්මාරකයක්

ශ්‍රී ලංකා මහ බැංකුවට කොටි ත්‍රස්තයින් එල්ල කළ ප්‍රහාරයට 16 වසරක් පිරෙන ලබන ජනවාරි 31 වැනි දා එම ප්‍රහාරයෙන් මියගිය මහ බැංකු සේවක සේවිකාවන් අනුස්මරණය කිරීමට ඉදිකරන ලද ස්මාරකයක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

මහ බැංකුවට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් 98 දෙනෙකු මියගිය අතර ඉන් 41 දෙනෙකු ම මහ බැංකුවේ සේවය කළ අය වේ. ඔවුන්ගේ ඥාතීන් ද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු නිලධාරීන් ද 31 වැනි දා ස්මාරකය විවෘත කිරීමේ දී මියගිය අය සමරා පුෂ්පෝපහාර දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට ද නියමිත ය.

1996 දී කොටි ත්‍රස්තවාදීන් විසින් මහබැංකුවට එල්ල කළ ප්‍රහාරය, කොළඹට එල්ල කරන ලද දරුණු තම ප්‍රහාරයක් වූ අතර ඉන් තුවාල ලද ගණන 1339කි.

එදා මෙදා තුර කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට එක්වර ඇතුළත් කළ වැඩි ම රෝගීන් සංඛ්‍යාව වාර්තා වුයේ ද එම ප්‍රහාරයෙනි.

මේ ප්‍රහාරය ඇතුළු ව 1987 මැයි 07 කොළඹ සීටීඕ බෝම්බ ප්‍රහාරයෙන් 14 දෙනෙකු ද 1987 අප්‍රේල් 21 පිටකොටුවේ බෝම්බයක් පුපුරවා 112 දෙනකු ද 1987 නොවැම්බර් 09 මරදාන සහිරා විදුහල ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරවා 23 දෙනෙකු ද 1993 මැයි 01 ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සමඟ 17 දෙනෙකු ආමර් වීදියේ දී ද 1994 නොවැම්බර් 24 – කොළඹ තොටළඟ දී ගාමිණි දිසානායක මහතා සමඟ 55 දෙනකු ද 1997 ඔක්තෝබර් 15 කොළඹ ගලදාරි හෝටලයේ බෝම්බ ප්‍රහාරයෙන් 18 දෙනකු ද 1996 නොවැම්බර් 11 කොම්පඤ්ඤවීදියේ බෝම්බ දෙකක් පුපුරවා 19 දෙනකු ද 1998 පෙබරවාරි 06 – කොම්පඤ්ඤවීදියේ ගුවන් හමුදා මාර්ග බාධකයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ගුවන් භටයින් 3 දෙනකු ද 1998 මාර්තු 05 – මරදාන දුම්රියපොළ ඉදිරිපිට බසයක බෝම්බ පිපිරීමකින් 38 දෙනකු ද 1999 දෙසැම්බර් 18 ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඝාතනයට තැත්කරමින් කොළඹ පුරහලේ බෝම්බ ප්‍රහාරයෙන් 24 දෙනෙකු ද 2000 ජනවාරි 05 – කොළඹ මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 5 දෙනකු ද කොටි ත්‍රස්තවාදීහු ඝාතනය කළහ. ඒ සඳහන් කළේ 2000 වසර දක්වා පමණි. ත්‍රස්තවාදය නිමකළ 2009 දක්වා තවත් ඝාතන සිදු විණි. අද බොහෝ දෙනෙකුට ඒවා අමතක ය.

ඉන් මෙතෙක් ස්මාරක ඉදිවී ඇත්තේ ජනාධිපති රණසිංහ මහතා සිහිකිරීම වෙනුවෙන් ආමර් වීදියේ ස්මාරකය පමණ ය. එම නිසා මහ බැංකුව සිය සේවක සේවිකාවන් අනුස්මරණය කිරීමට වසර 16කට පසු ව හෝ මෙවැනි ස්මාරකයක් ඉදිකිරීම ගැන ස්තූතිවන්ත විය යුතු ය.

නමුත් මේ කුරිරු සිදුවීම්වලින් ඝාතනය වුණේ තුවාල ලද්දේ මේ රටේ සාමාන්‍ය මහජනතාවය. ඒ මහජනතාව අනුස්මරණය කිරීමට කොළඹ නගරයේ ස්මාරකයක් පිහිටුවීමට රජයට යුතුකමක් තිබේ. එම ප්‍රහාරයන් සිදු වූ දිනවලට මියගිය අයගේ ඥාතීන් කැඳවා පුෂ්පෝහාර දක්වා ඔවුන් ස්මරණය කර ත්‍රස්තවාදයේ කුරිරු බව එය අමතක ව යන පොදු ජනතාවට ද මතක් කර දිය යුතු ව තිබේ. කොළඹ පමණක් නො ව ත්‍රස්තවාදීන් මෙවැනි ඝාතන සිදු කළ රටේ වෙනත් එවැනි ස්ථානවල ද ස්මාරක පිහිටුවීමට පළාත් සභා මඟින් හෝ පියවරගත යුතු ව තිබේ.

කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර නිසා තවමත් අතපය අහිමි ව, ශරීර අංග අප්‍රාණික වූ මෙන් ම ඇස්‌ නොපෙනෙන, කන් නොඇසෙන, අදටත් ඒ නිසා විඳවන කිසිදු වන්දියක් හෝ නොලැබූ සාමාන්‍ය ජනතාව අප අතර අදත් නිහඬ ව  ජීවත් වෙති. ඔවුන් සියලු දෙනා පළාත් මට්ටමින්වත් කැඳවා මෙවන් අනුස්මරණයක් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයටවත් අදහසක් පහළ වන්නේ නම්…?

 

– සිංහලයා පුවත්

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *