සරසවි අර්බුද නිර්මාණය – එදා සහ අද

යුදමය වාතාවරණය නිමා වීමෙන් පසු ව රටේ සංවර්ධන ක්‍රියාදාමය ‘ආසියාවේ ආශ්චර්යයක්‘ දක්වා ඉදිරියට ගෙන යන බව රටේ පාලන තන්ත්‍රයෙන් පුනපුනා නැඟෙන මුත් මේ රට අභ්‍යන්තරයේ නැඟෙන ගැටලුවලට විසඳුම් සෙවීමට විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ ද? යන්න ගැටලු සහගත බව පෙනෙන්නට තිබෙන කාරණයයි.

මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය ඇතුළු බොහෝ අංශවල උද්ඝෝෂණ පැන නැඟෙමින් පැවතීම අසාමාන්‍යයෙන් සාමාන්‍ය සිදුවීමක් බවට දැන් පත් වෙමින් තිබේ.

රටේ විශ්වවිද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් පැන නැඟී ඇති තත්ත්වයත් එවැනි අර්බුදවල අතීතයත් විමසන්නට සිතෙන්නේ මෙවන් පසුබිමකය.

පසුගියදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙක් අභ්‍යන්තර පීඨ සියල්ල වසා දමා ලැබුණේ එවන් උද්ඝෝෂණයක් නිසාවෙනි. මේ සඳහා බල පෑ ආසන්නතම හේතුව සරසවි භූමියේ පිහිටුවා ඇති විරු සිසු ස්මාරකයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එය විනාශ කිරීමට තැත් කිරීමය.

මේ සඳහා වගකිවයුතු යුතු අය සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ. උසාවියට ද සිසුන් ගෙන ගොස් තිබේ. ඒ නීත්‍යනුකූල ක්‍රියාමාර්ගයයි. සරසවි බිමේ ස්මාරකයක් සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය සඳහා සිසුන් ගනු ලැබූ විරෝධතා ක්‍රියාමාර්ගයන් නිසා විශ්වවිද්‍යාලය වසා දමන්නට තීරණය කෙරුණු බව බැලූ බැල්මට පෙනේ.

මේ සිද්ධියට සිසුන්ගේ පාර්ශවයෙන් හා පාලනාධිකාරියෙන් දක්වන තොරතුරු එකිනෙකාට චෝදනා කරගන්නා ස්වරූපයක් දක්නට ලැබුණි. සිසුන් පවසා සිටින්නේ උපකුලපතිවරයා සරසවියේ ආරක්ෂක කටයුතු කරන ආරක්ෂක අංශ යොදවා මෙය කළ බව ය. උපකුලපතිවරයා පවසන්නේ සිසුන් ම කිසියම් උද්ඝෝෂණයක් ඇති කිරීම සඳහා මෙවන් ක්‍රියාවකට පෙළැඹී තිබෙන බවය.

උපකුලපතිවරයා නැවතත් ඉදිරි වසර තුන සඳහා උපකුලපති ධූරයට පත් කරන ලද්දේ මෑතක දී ය. එවන් තත්ත්වයක් යටතේ (මේ වනවිට කාගේත් වැඩි අවධානයකට ලක් ව නැති) මේ ස්මාරකය පුපුරවා හැරීමෙන් ඔහු ලබන ප්‍රයෝජනයක් තිබේ ද? යන්න ගැටලු සහගත ය. නමුත් සිසුන් පෙන්වා දෙන්නේ මෙය ඉවත්කිරීමට උපකුලපතිවරයා නිරන්තර උත්සාහයක පසුගිය වකවානුවේ සිට ම ක්‍රියාකළ බව ය.

උපකුලපතිවරයා මේ තනතුර සඳහා පත්වන්නේ ද හිටපු උපකුලපතිවරයා වන මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා ඉවත්කිරීම සඳහා පැවති අඛන්ඩ උපවාසයේ දී සිසුන්ට සහයෝගය දුන් ආචාර්යවරයෙකු ලෙස ශිෂ්‍යයින්ගේ පැත්තේ සිටි කෙනෙක් වශයෙනි. අප එසේ කියන්නේ ඇයි? එපිටවත්ත මහතා සිසුන් සම්බන්ධයෙන් මෙන් ම ආචාර්යවරුන් සම්බන්ධයෙන් ද දැඩි ව, කෙලින් තීරණගත් උප කුලපතිවරයෙකු බව ඔහුගේ පාලන සමය විමසීමෙන් මනා ව දැකගත හැකි ය. ඔහුගෙන් පසු ව මහාචාර්ය චන්දිම විජේබන්ඩාර සහ මහාචාර්ය නාරද වර්ණසූරිය මහත්වරුන්ගෙන් පසු ව එන්.එල්.ඒ. කරුණාරත්න මහතා උප කුලපති තනතුරට පත්වන්නේ දේශපාලන සම්බන්ධකම් මත යන්න සරසවි ආචාර්යවරුන්ගේ මතය යි. නමුත් ඔහු තනතුරට පත්වන්නේ මහාචාර්ය එපිටවත්ත එලවා දමන්නට ඇරඹූ සිසුන්ගේ විරෝධතාවලට ඍජු ව ම දායක වී උපවාස කළ කෙනෙකු ලෙස සිසුන්ගේ ද ආශීර්වාදයෙන් බව අතීතය පසක් කරයි.

එම උප කුලපතිවරයා ම නැවතත් තනතුරින් පන්නා දැමීමට අද සිසුන්ට අවශ්‍ය ව තිබේ. මේ තත්ත්වය යටතේ විශ්විද්‍යාල පාලනාධිකාරියේ තනතුරු සම්බන්ධයෙන් තීරණය කිරීම ද වක්‍රාකාරයෙන් ශිෂ්‍යයන්ට අවශ්‍ය ආකාරයට සිදු විය යුතු ද? යන්න ගැටලු සහගත ය.

මෑතක දක්නට ලැබුණු මැගසින් බන්ධනාගාර සිද්ධියේ දී ද රැඳවියන් බන්ධනාගාර නිලධාරීන් එපා යැයි සිරගෙදර වහළ මත නැගී බැනර් ප්‍රදර්ශනය කරනු දැකගත හැකිවිය. ඒ අනුව බන්ධනාගාර පාලකයන් පත් කළ යුත්තේ ද සිරකරුවන්ට අවශ්‍ය පරිදි ය. විදුහල්පතිවරුන් පත්කළ යුත්තේ ළමයින්ට හා දෙමාපියන්ට අවශ්‍ය පරිදි ය. රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කළ යුත්තේ සේවකයින්ට අවශ්‍ය පරිදි ය. පන්සලේ නායක හිමි පත්කළ යුත්තේ උපාසක උපාසිකාවන්ට අවශ්‍ය පරිදි ය. උපකුලපතිවරුන් පත් කළ යුත්තේ සිසුන්ට අවශ්‍ය පරිදි ය.

කෙසේ වෙතත් ජපුර සරසවි සිසුන් පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ මහා ශිෂ්‍ය සංගම් කාර්යාලයට සීල් තබා එහි එල්ලා තිබූ විරු සිසු ඡායාරූප සියල්ල ඉවත් කොට ඇති බවත් මේ බෝම්බ පිපිරීම එම ක්‍රියාදාමයේ ම තවත් පියවරක් බවත් ය.

මේ බෝම්බ ප්‍රහාරය කවරෙකු සිදු කළ ද? එය පිළිගත හැකි හෝ සාධාරණීකරණය කළ හැකි කාර්යයක් නො වේ. ප්‍රහාරයෙන් එම ස්මාරකය සම්පූර්ණයෙන් සුණුවිසුණු කර ඇතැයි හැඟෙන තරමේ උද්ඝෝෂණයක් සිදු කරන්නට සිසුන් පෙළඹුණත් එය ද සත්‍යය නො වේ.

70 දශකයේ දී රට ම කැළඹූ පේරාදෙනිය සරසවියේ වීරසූරිය ශිෂ්‍යයා ඝාතනය වීමෙන් පසු ව වරින්වර විශ්වවිද්‍යාලවල ඇති වූ තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වන අරගලවල දී සරසවි සිසුන් රැසක් ඝාතනයට ලක් වූ අතීතයක් අපට දැකගත හැකි ය. 1987-89 භීෂණ සමයේ දී විශ්වවිද්‍යාල ජවිපෙ කඳවුරු බවට පත් ව තිබුණි. ඇතැම් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු වෙනුවට මහන මැෂින් ගෙනැවිත් රතු කොඩි මැසූ යුගයක් ද තිබිණි. ගොවි, කම්කරු වෘත්තීය සමිති ආදී බලවේග යටපත් කරගෙන ශිෂ්‍ය ව්‍යාපාරය ඉහළට පැමිණ රටේ පාලකයන් සමඟ කේවල් කරන තත්ත්වයට පත් වූ යුගයක් ද භීෂණ සමය අවසානයේ දැකගත හැකි විය.

එවන් වටාපිටාවක් විශ්වවිද්‍යාල මට්ටමින් යළි බිහිකර ගැනීමේ කූට උපක්‍රමයක් මේ පසුපස ඇතැයි අනුමාන කළ හැකි බව ඇතැම් ආචාර්යවරු පෙන්වා දෙති. රටේ විරුද්ධ දේශපාලන පක්ෂවල අය තමන්ගේ පක්ෂ බෙදාගැනීමට හා තනතුරු බෙදාගැනීමට පිල්වලට බෙදී සිටින සමයක රටේ සාමය ස්ථාවර ව පවතින සමයක, රජයට එරෙහි ව ජනතා මතයක් ගොඩනැංවීම සඳහා පරාජිත දේශපාලන පක්ෂ විසින් මෙවන් උද්ඝෝෂණ ඔස්සේ බළලුන් ලවා කොස් ඇට බෑවීමේ කාර්යයක සරසවි සිසුන් යොදාගනු ලබන්නේ ද? යන සැකය මෙහි දී පැන නැඟේ. අප එසේ කියන්නේ විශ්වවිද්‍යාලවලට පිවිසෙන ශිෂ්‍යශිෂ්‍යාවන් තම දේශපාලන අරමුණු මුදුන් පත්කර ගැනීමට යොදාගන්නා දේශපාලන සංවිධාන අතීතයේ සිට ම දැකිය හැකි බැවිනි.

ජයවර්ධනපුර විශ්විද්‍යාලය පසුගිය කාල වකවානුව පුරා ම කලබැගෑනියකින් තොර ව අධ්‍යයන කටයුතු සිදු වූ විශ්වවිද්‍යාල අතලොස්සට අයත් විශ්වවිද්‍යාලයකි. උප කුලපතිවරයා විශ්වවිද්‍යාලයේ සංවර්ධනයට කටයුතු කර ඇති අතර ඇතැම් අවස්ථාවල සිසුන්ගේ පමණක් නො ව ආචාර්යවරුන්ගේ ක්‍රියාකාරකම් පවා විවේචනය කිරීමට පසුබට නො වූ බව ද දැකගත හැකි විය.

තනතුරු අපේක්ෂාවෙන් සිට නොලැබුණු ඇතැම් ආචාර්යවරුන් ද උප කුලපතිවරයාට එරෙහි ව හීන් නූලෙන් සිසුන් පොළඹවන තත්ත්වයට පත් ව ඇති බවට ද කනින්කොනින් අසන්නට ලැබේ.

නවක ශිෂ්‍ය කණ්ඩායමක් විශ්වවිද්‍යාලයට පැමිණි විට ඔවුන්ට සටන් පන්නරය ලබාදීම සඳහා පවතින රජයට එරෙහි ව උද්ඝෝෂණවලට පෙළැඹවීමටත්, පෙළපාලි යමින් පවත්නා රජයට එරෙහි ව විරෝධතා දැක්වීමටත්, විශ්වවිද්‍යාලය යනු රටේ මහා සංස්කෘතිය තුළට අනන්‍ය වූ නීතිරීතිවලින් විනිර්මුක්ත වූ ස්වාධීන උප සංස්කෘතියක් ලෙස අවධාරණය කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශපාලන ශිෂ්‍ය සංගම් අනාදිමත් කාලයක සිට කටයුතු කරයි. මෙය අතීතයේ සිට සෑම වසරක ම නවක සිසුන් සරසවිවලට පිවිසීමෙන් පසු ව සිදුවන්නකි. ඒ සඳහා කිසියම් හේතුවක් නැතිනම් හේතුවක් නිර්මාණය කරගෙන හෝ පෙළපාලි ගෙනයාම, සරසවිවල මහා ශිෂ්‍ය සංගම්වල බලය සමාජවාදී ශිෂ්‍ය සංගමය අත්පත් කරගත් 80 දශකයේ මුල්භාගයේ සිට ම අත්දැක තිබෙන සත්‍යයකි.

අසූව හා අනූව දශකයේ පැවති දේශපාලන වටපිටාවත් සමඟ එදා පැවති මෙවන් උද්ඝෝෂණ වඩාත් සාධාරණීකරණය කිරීමට ජනතාවත් පෙළඹුණාහ. මාධ්‍ය ආයතනවල පුළුල් සහයෝගයක් ද එදා එම උද්ඝෝෂණවලට හිමිවිණි. ශිෂ්‍ය සටන් පෙළපාලිවලට පුළුල් ප්‍රචාරයක් ද ලැබිණි. එදා සරසවිවල දේශපාලන පක්ෂවලට සම්බන්ධ වූ සමවාදී, සමාජවාදී, නිදහස් මෙන් ම ස්වාධීන දේශපාලන ශිෂ්‍ය සංගම් ද ක්‍රියාත්මක විණි. ඒවා අතර වාදවිවාද පැවැත්විණි. ගහමරා ගන්නා තත්ත්වයන්ට ගිය ද සිසුන් ම ඒවා සමනය කර ගැනීමට පියවර ගත්තේ පාලනාධිකාරියට ඒවාට අතපොවන්නට ඉඩ නොතබමිනි. එකල සරසවියට පොලිසියට ඇතුළුවීමට ඉඩ නොදීමට සියලු සිසුහු වගබලා ගත්හ. උපකුලපතිවරයා ගැටුම් සංසිඳවා ගත නොහැකි විට පොලිසිය ගෙන්වීමට උත්සාහ කරන විට සිසුන් එයට විරුද්ධ වූයේ මේ භූමියේ අයිතිය සිසුන්ට මිස පොලිසියට නොවන බව දැඩි ව විස්වාස කළ හෙයිනි.

නමුත් අද තත්ත්වය වෙනස් ය. ශිෂ්‍ය උපදේශක ආචාර්යවරයෙකු පැවසූ අන්දමට අද ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවන විට දූරකතනයෙන් පොලිසිය කැඳවන්නේ සිසුන් ම ය.

අද සරසවිවල දකින්නට ඇත්තේ වෙනත් දේශපාලන මත නොඉවසන දේශපාලන ගැත්තන්ය. ඔවුන් සිය මතයට එරෙහි සිසුන්ගේ ඔළු පළන්නට පවා සූදානම් ය. මෙය කිසිසේත් උසස් අධ්‍යාපනය සඳහා සුදුසු මානසික තත්ත්වයක් නො වේ. මේ දේශපාලන ව්‍යාපාරයේ මතුපිට පෙනෙන දෙයට වඩා වැඩි යමක් ඇත්තේ රහසිගත ව ය. මේ වනවිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන්නේ ජවිපෙ ද ජන අරගල කණ්ඩායම ද යන්න මේ උද්ඝෝෂණවලින් හෙළිදරව් වෙමින් පවතී.

සිසු ස්මාරකයකට බෝම්බ ප්‍රහාරයකින් සිදු ව ඇති අල්ප හානියට වඩා මහත් වූ හානියක් සමස්ත ජනසමාජය මත පැටවීමට දැරූ ප්‍රයත්නය කොළඹ දක්වා ගිය පෙළපාලියෙන් මනා ව දැකගත හැකි විය. පැය දෙක තුනක් මහ ජනතාවට වාහනයක්වත් එහාමෙහා කරගත නොහැකි මට්ටමේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් හයිලෙවල් පාරේ හා ගාලුපාරේ එදා දක්නට ලැබිණි. එතරම් අවහිරයක් ඇති කරමින් ගමන් කළ පෙළපාලියකට කොල්ලුපිටිය දක්වා ඔහේ යන්නට ඉඩ දී සිටි පොලිසිය ද සිය රාජකාරිය පැහැර ඇති බව විද්වතුන්ගේ අදහසයි.

ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් දිවිදුන් සිසු විරුවන් වෙනුවෙන් ඉදිකළ විරු සිසු ස්මාරකයක් විනාශ කිරීමට දරණ ලද උත්සාහය කිසිසේත් අගය කළ නොහැකිවා මෙන් ම එයට සිසුන් දක්වන ලද ප්‍රතිචාරය ද කිසිසේත් අගය කළ නොහැකි මට්ටමකට පත්කරගෙන සමාජයෙන් අපවාද අසන්නේ ද සිසුන් ම ය. නමුත් මේ පාගමනට එක් වූ අය ගියේ දක්කාගෙනය. සටන්පාඨ ලියූ කොළකැබලි නවකයින්ගේ අතට දී හඬ නඟන්නට බල කරන අන්දම ද දැකගත හැකිවිය. ජ්‍යෙෂ්ඨ උත්තමයින්ගේ ගොරහැඩි අණසකට බිය වූ ප්‍රෙෂාලාට ප්‍රෙෂීලාට වෙන කරන්නට දෙයක් නැති වූවා විය හැකි ය.

1981 දී ආරම්භ වූ උතුරු කොළඔ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලයේ දී නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පෙරමුණ ගෙන කටයුතු කළහ. එහි දී ඇති වූ ශිෂ්‍ය සටන්වල ප්‍රතිඵල ලෙස වෙනුර එදිරසිංහ, පද්මසිරි ත්‍රීමාවිතාරණ, සරත් කොල්ලුරේ, අතුල සේනාරත්න, සිසිර කීර්ති ජයවර්ධන, කුමාර කුලතුංග, ලීල් සමරනාත්, සුගත් අශෝක ද සිල්වා, නිශාන්ත එදිරිවික්‍රම වැනි ශිෂ්‍යයෝ ජීවිත පරිත්‍යාග කළහ. ඒ සටනේ ජයග්‍රහණය ලෙස උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය‚ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත්කිරීමට සිදුවිණි.

පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුළ 1983 අග භාගයේ දී පොලීසියක් පිහිටුවූයේ ජේ.ආර්. ජයවර්ධන රජයයි. එයට එරෙහි ව නැඟුණු සිසු උද්ඝෝෂණයකට එල්ල කළ පොලිස් වෙඩි ප්‍රහාරයකින් පේරාදෙනිය සරසවියේ පද්මසිරි අබේසේකර මියගිය අතර එයට විරුද්ධ ව සියලු සරසවිවල උද්ඝෝෂණ පැනනැඟුණි. ඒ වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාල සිසුන් පැවැත්වූ උද්ඝෝෂණයකට කළ වෙඩි තැබීමකින් රෝහණ රත්නායක මියගියේ ය. ඒ පද්මසිරි මරා දමා දින දෙකකට පසු වය.

රෝහණ රත්නායක මෙන් ම 1987 මැයි පළමුවැනිදා පැවැති මැයි දින පෙළපාලියේ දී පොලිස් වෙඩිපහරකින් මියගිය ජයවර්ධනපුර සරසවියේ කිත්සිරිමෙවන් රණවක ද පේරාදෙනියේ ජය ශ්‍රී ගුණසේකර, නීල්, රොහාන් හා රංජිතන් ගුණරත්නම් වැනි සිසු නායකයින් ද එසේ දිවි පිදූ කණ්ඩායමට අයත් වෙති.

1987-89 ජනතා විමුක්‌ති පෙරමුණේ භීෂණ සමයේ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දයා පතිරණ ඝාතනය කරන ලද්දේ ජවිපෙ බව සමාජය පිළිගත් මතයයි. එකල වාමාංශික දේශපාලන පක්ෂවල සංධානයකින් පිහිටුවා තිබූ එක්‌සත් සමාජවාදී පෙරමුණේ සිටි ක්‍රියාකාරීන්ට ද ඉන්දු – ලංකා ගිවිසුමට සහයෝගය දැක්‌වීමේ හේතුව නිසා ජ.වි.පෙ. විසින් මරණ දණ්‌ඩනය නියම කරනු ලැබ තිබිණි. දිවයින පුරා ම වාමාංශික දේශපාලන නායකයන්ට මෙන් ම එජාප ප්‍රාදේශීය නායකයන්ට ද ඒ මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක විණි. දේශපාලන රැස්වීම්වලට මෙන් ම නිවාසවලට ගොස් දරුවන් ඉදිරියේ දී ද අසු වූ ඕනෑ ම තැනක දී ද ඔවුන් මරාදැමීම ද සිදුවිණි.

කලක් ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන් ම සහෘද කලාකරුවෙකු වූ නන්දන මාරසිංහ ද්‍රෝහී ලේබල් ගසා ඝාතනය කළේ අනුරාධපුර පොළේ දී ය. පොහොද්දරමුල්ලේ පේමාලෝක හිමි, විජය කුමාරතුංග, දේවබණ්‌ඩාර සේනාරත්න, ජෝර්ජ් රත්නායක, පී.ඩී. විමලසේන, එල්.ඩබ්ලියු. පණ්ඩිත වැන්නන්ගේ ජීවිත ද එම භීෂණ සමයේ නාඳුණන තුවක්කුකරුවන් බිලිගත් අතර නාඳුණන තුවක්කුකරුවන්ගෙන් අමාත්‍ය රාජිත සේනාරත්න, භාරත ලක්ෂ්මන් හා ජී.අයි.ඩී. ධර්මසේකර (අනගාරික ධර්මසේකර) වැන්නන් ගැලවුණි. (ඒ සමයේ සිදු වූ මෙවැනි සිදුවීම්වලින් පොතක් වුව ද ලිවිය හැකිය.)

ඒ ඝාතන රැල්ලට හසු වූ අවසන් ශිෂ්‍ය සංගම් නායකයා වූයේ 1989 දී ඝාතනය කළ කොළඹ සරසවියේ ස්‌වාධීන ශිෂ්‍ය සංගමයේ දයා පතිරණට පසු ව නායකයා වූ කේ.එල්. ධර්මසිරි ය. එම කාලය වනවිට සරසවිවලින් උපාධිය ලබා ඉවත් ව සිටි දේශපාලන සංගම්වල ක්‍රියාකාරීන් මරාදැමීම ද රටපුරා සිදුවිණි.

1983 වර්ෂයේ දි කළු ජූලියත් සමඟ පැන වු හදිසි නීතිය උපයෝගී ගෙන ජේ.ආර්. ජයවර්ධන රජය එදා ශිෂ්‍ය සභා තහනම් කිරීමත් සමඟ ශිෂ්‍ය මර්දනය ආරම්භ වූ බව දේශපාලන සංගම්වල මතයයි. මේ ශිෂ්‍ය සභා සමඟ ම සරසවිවල අනධ්‍යයන ශිෂ්‍ය සංගම් ද තහනම් කෙරිණි. එය එදා දැඩි බලපෑමක් ලෙස කිසිවෙකු නො සැලකු ව ද ඉන් ජනිත වූ ප්‍රතිඵල අද විශ්වවිද්‍යාල උප සංස්කෘතිය බුක්ති විඳිමින් පවතී.

එදා සරසවිවල නිර්මාණශීලී සහෘදයන් රැසක් බිහිවීමට එම අනධ්‍යයන ශිෂ්‍ය සංගම් හේතු විය. සිනමා සංගම්, ලේඛක සංගම්, කලා සංගම් පමණක් නො ව බෞද්ධ, කතෝලික හා අමද්‍යප සංගම් පවා අනධ්‍යන ශිෂ්‍ය සංගම්වලට අයත්විණි. ඒවාට ඕනෑ ම අධ්‍යයන පීඨයක සිසුසිසුවියන්ට එකතුවීමේ හැකියාව තිබිණි. විද්‍යා, කළමනාකරණ හා වාණිජ වැනි වෙනත් පීඨවල සිටි නිර්මාණශීලීන් සරසවි කරළියට රැගෙන ආවේ මේ අනධ්‍යන ශිෂ්‍ය සංගම්වලිනි. එම සංගම් මඟින් සරසවිවල කලා උළෙල, නිර්මාණ එළි දැක්වීම්, චිත්‍ර ප්‍රදර්ශන, ලේඛක වැඩමුළු, රටේ විද්වතුන් ලවා විවිධ දේශන පැවැත්වීම පමණක් නො ව නාට්‍ය උළෙල හා චිත්‍රපට උළෙල පැවැත්වීම ද වසරක් පාසා සිදු කෙරිණි.

මේ මඟින් සිසුන් බුද්ධි සංවාදයකට යොමු කළ අතර බුද්ධිමතුන්ට ප්‍රඥාව සොයා යාමේ මංපෙත් ඒ තුළින් පහළ කෙරිණි. මේ කණ්ඩායම්වල සිටි ඇතැම් සිසුන් දේශපාලන සංගම් නියෝජනය කළ අතර ඔවුන් ඒවායේ යම් යම් තීරණාත්මක අවස්ථාවල නිවැරදි තීන්දු ගැනීමේ විවාදාත්මක සහය පළ කළහ.

අද මේ තත්ත්වය සරසවිවලින් විනිර්මුක්ත වී ගොසිනි. අද සිටින්නේ වාදවිවාදවලින් නිවැරදි මතය සොයායන ගවේෂණශීලිත්වයේ කුහුලින් පිරුණු විද්‍යාර්ථීන් නො වේ. තමන්ගේ මතය නිවැරදියැයි අදහන එය හැඳිගාමින් කකාරා බලහත්කාරයෙන් නවකයන්ට පොවන එය නොඉවසන නිදහස් මතධාරීන්ගේ ඔළුපළන පැලැන්තියක් බව 90 දශකයේ සිට සිදුවන්නා වූ අභ්‍යන්තර සිදුවීම්වලින් මනා ව පැහැදිලි වේ. අනධ්‍යයන ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට පාලකයන්ගත් තීන්දුවේ ප්‍රතිඵල මේ වනවිට සරසවි උපසංස්කෘතිය අත්විඳිමින් සිටී.

නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීමට ශිෂ්‍යයින්ට අයිතියක් තිබෙනවා මෙන් ම එය සුරැකීමට රටේ අධ්‍යාපන බලධාරීන්ටත් යුතුකමක් පවතී. ඒ ඔවුන් මෙරටේ නිදහස් අධ්‍යාපනයේ වරම් ලබා අද එම ස්ථානවල සිටින නිසා පමණක් ම නො වේ. මේ ආයතනවලින් ගොඩනැඟෙන්නේ මේ රටේ අනාගතය මෙහෙයවන්නන් වන නිසාය.

එසේ ම සරසවිවල උසස් අධ්‍යාපනය ලබන සිසුසිසුවියන්ටත් තමන්ගේ ම නිදහසේ තමන් කැමති දේශපාලනයක නිරත වීමේ අයිතිය හිමිවිය යුතුය. කාගේවත් බලකිරීමට නතු ව ලියාගත් උද්ඝෝෂණ සටන්පාඨ කියැවීමට, පෙළපාලි යාමට ඔවුන් පෙළැඹවීමෙන් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ද කඩවේ. නීතිවිරෝධී ආකාරයෙන් හැසිරීම නිසා වින්දිතයන් බවට පත්වීමෙන් සමාජය කෙරෙහි වෛරක්කාරයන් බවට පත්වන්නට ඔවුන්ට ඉඩ නොදිය යුතු වේ. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම මේ ඔස්සේ අකර්මන්‍ය කිරීමට ඇතැම් අය කටයුතු කරමින් සිටිය ද මේ සියල්ල සිදුවන්නේ අතළොස්සකගේ වුවමනාවට හා බලපෑමට බව නවක සිසුසිසුවියන්ගේ අදහසයි.

මෙවැනි සිදුවීම් ඔස්සේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ දේශපාලන පක්ෂ තමන් අත්විඳිමින් සිටින පරාජිත මානසිකත්වයෙන් මිදී තමන් වීරයන් බවත් නිවැරදි බවත් අනුගාමිකයන්ට ඇඟවීමට ගන්නා උත්සාහයන් හමුවේ ආණ්ඩුව ද පසුබෑම්වලට ලක්වීමෙන් පෙනෙන්නේ ගැටලු නිසියාකාරයෙන් විසඳීමේ නො හැකියාව ම ය.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *