Ray J – ලංකාවේ මුල්ම ත්‍රිමාණ (3D) සිනමා නිර්මාණය සමග එන නව පරපුරේ සිනමා නිර්මාණකරුවා..

ලාංකික සිනමාවේ නව මංපෙත් විවර කරමින් අළුත් තේමාවන් යටතේ නව තාක්ෂණය හා මුහු වෙමින් විටෙක පර්යේෂණාත්මක නිර්මාණ ද තවත් විටෙක කලා රසයෙන් අනූන නිර්මාණ ද ආදී වශයෙන් සිනමා රසිකයන් අතරට පත්වන නව පරපුරේ සිනමා නිර්මාණ අතර තවත් එක් අමුතු ආරක සිනමා කෘතියක් සහ එහි නිර්මාණකරුවා ගැන අද අප ඔබට හෙළි කරමු. “රේ ජේ.” නම ඇසූ පමණින් යම්කිසි නුහුරු ගතියක් ඔබට දැනුනාට කිසිදු සැකයක් නැහැ. නමුත් රෙහාන් ජෛනුලබ්දීන් යනු ඔහුගේ සැබෑ නමයි.

Ray J සිනමාකරණයට පිවිසෙන්නේ 2004 දී පමණ කෙරුණු කෙටි චිත්‍රපටයක් සමග. ඉන් අනතුරුව ඔහු 2005 දී නවසීලන්තය බලා පිටත්ව යන්නේ සිනමාව පිලිබඳ වැඩිදුර හැදෑරීමක් කිරීම සඳහා. ඕක්ලන්ඩ් සරසවිය සහ South East Film & Television School උසස් අධ්‍යාපන ආයතනයේ දී ඔහුගේ සිනමා සිහිනය සැබෑ කරගත් පසු, වසර 5 කට පසු නැවත ලංකාවට එන්නේ ඔහු උගත් සිනමා මාධ්‍යය භාවිතා කර වැඩි පිරිසකට දැනෙන නිර්මාණ බිහි කිරීමේ අපේක්ෂාවෙන්.

2010 දී ඔහු නිර්මාණය කළ “ට්රේන් ටු කැන්ඩි” (train to kandy) තමයි මෙරටට පැමිණ මුලින්ම කළ නිර්මාණය. එය මෙම ජනවාරි මාසයේ බොහෝ දුරට මෙරට රසිකයන්ට දැකබලා ගන්නට හැකිවේවි. ළමා ගණිකා වෘත්තිය හා එහි නියැළී පසුව එහි වරද අවබෝධ කරගන්නා කාන්තාවක් සම්බන්ධ සමාජ ගැටළුවක් පිළිබඳවයි එහිදී සිනමා නිර්මාණය දිගහැරෙන්නේ. මෙරට ජනපිය නළු නිළි යුවලක් වන නදීශා හේමමාලී සහ මේනක රාජපක්ෂත් හඳුන්වා දෙන ළමා නිළි දේශානී පතිරණත් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වනවා.

ඔහුගේ දෙවැනි නිර්මාණය වන්නේ  “Re-Entry” නම් වූ විද්‍යා ප්‍රබන්ධයයි. ලංකාවේ සිනමාවට තරමක් නැවුම් වූ මෙම නිර්මාණය පිලිබඳ ඔහු කියන්නේ මෙසේයි.

Re-Entry චිත්‍රපටයේ එන රූප රාමුවක්..

“මේ තේමාව යටතේ ලෝකයේ බොහෝ සිනමා නිර්මාණ බිහිවී තිබෙනවා. නමුත් මෙහි යම් යම් සුවිශේෂීතාවන් මා දකිනවා. මුලින්ම කියන්න අවශ්‍යයි මෙහි වියදම් පාර්ශවය. ඉතාමත් අඩු සම්පත් ප්‍රමාණයක් සහ අඩු පිරිවැයක් වැය කරමින් ගරිල්ලා මට්ටමේ සිනමා නිර්මාණයක් කරන්නට මමත් මගේ කණ්ඩායමත් සමත් වුනා. තවමත් මෙහි රූගත කිරීම් සිද්ධ වෙනවා. මෙහි තිර පිටපතේ සිට සංස්කරණය දක්වා බොහෝ කටයුතු මම විසින්මයි සිදුකළේ. දෙවැනි කාරණය මෙහි නිර්මාණ කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ දැන හඳුනාගත් සහ කිසි දිනෙක මුහුණට මුහුණ හමු නොවූ පිරිසක් මා සමඟ කටයුතු කරනවා. තුන්වැනි කාරණය තමයි මෙය අනාගතය පිළිබඳ දැක්මක් රසිකයා වෙත ලබා දෙනවා.
මෙහි රූගත කිරීම් ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදුකරනවා. නිර්මාණයේ සඳහන් පරිදි ව්‍යසනයක් මෙරටට අනාගතයේ ඒ කියන වකවානුවකදී ඇති වුවහොත් එම ස්ථාන කෙසේ දිස්වෙයි ද යන ආශ්වාදනීය හැඟීම ලබන්නට මෙහි රසිකයාට නිතැතින්ම හැකිවෙනවා. ඒ වගේම තවත් වැදගත්ම කරුණක් වන්නේ මෙරට තුළ නිෂ්පාදනය කෙරෙන ත්‍රිමාන තිරගත කිරීමේ හැකියාව සහිත, එනම් ත්‍රිමාන අත්දැකීමක් සිය රසිකයාට ලබාදිය හැකි මුල්ම දේශීය සිනමා නිර්මාණය ද මෙය වීමයි..”

මහනුවර ඉපිද  Kandy Grammer School වෙතින් මූලික අධ්‍යාපනය ලබා උසස්පෙළ සඳහා කොළඹට ආ ඔහු ඒ අවධියේ Arena Multimedia Academy ආයතනය හා සම්බන්ධ වී බහු මාධ්‍යය සහ ත්‍රිමාන සජීවීකරණය හදාරනවා. ඉන් පසු තමයි ඔහු වැඩිදුර සිනමාව හදාරන්නට විදෙස්ගත වන්නේ.

Ray සිනමාවට යොමු වූ ආකාරය ගැන අපට මෙසේ පැවසුවා.

Train To Kandy චිත්‍රපටයේ සංස්කරණ කටයුතු Ray අතින් නිම වෙමින්..

“ඇත්තෙන්ම ලෝක ප්‍රකට Starwars චිත්‍රපට මාලාව මාව සිනමාවට යොමුකළා. එහෙත් පසුකාලීනව මට ඇතිවූ මුලිකම ගැටළුව වූයේ එවැනි දැවැන්ත සිනමා නිර්මාණ සිදුකිරීමට අපට ඇති ආර්ථික හැකියාව ප්‍රමාණවත් ද යන්නයි. ඒ නිසාම සිනමාව යළිත් වතාවක් සිහිනයක්ම පමණක් වෙමින් තිබූ යුගයක Robert Rodrego නම් සිනමා අධ්‍යක්ෂකවරයා පිළිබඳව මට දැනගන්නට ලැබෙනවා. තමන් සතු එකම එක කැමරාවකින් තමන්ගේම නෑදෑයන් පිරිසක් නළු නිළියන් ලෙසින් ගෙන ඔහු විසින් සිදුකරන ලද El Mariatsi සිනමා නිර්මාණය පසු කලෙක ලෝක ප්‍රකට කොළොම්බියා සිනමා සමාගමේ වාර්තා තැබූ සිනමා කෘතියන් වීම මාව නැවත පණ ගැන්වූවා..”

ජෝර්ජ් ලුකස් ගේ Star Wars චිත්‍රපටමාලාව තුලින් පිබිදෙන මොහු පසු කලෙක හැබැවටම Lucasfilm Animation Singapore හි දී Star Wars: The Clone Wars (2008 TV series) සඳහා සිය දායකත්වය ලබා දෙනවා.

“මම සිනමාවට පිවිසෙද්දී මගේ දෙමාපියන් තුළ වුනත් තිබුනේ යම් කිසි සැකයක්. ඒත් අද ඔවුන් දන්නවා මට මෙහි පැහැදිලි දැක්මක් ඇති බව. මගේ හැකියාවන් තුළින් සාර්ථක නිර්මාණයක් කරල එතුළින් රටටත් යම් කීර්තියක් ගෙන දෙන්න පුළුවන්නම්, අන්න ඒක තමයි මගේ බලාපොරොත්තුව..”
ඔහු ලංකාවේ සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් ද වැදගත් අදහසක් දක්වන්න අමතක කලේ නැහැ.

“එහි දෙපැත්තක් තියෙනවා අනෙක් බොහෝ දේවල මෙන්ම. මම අදහස් කළේ නවකයන්ට අතහිත දෙන සහ මඟ පෙන්වන පිරිසක් මෙන්ම ඔවුන්ගේ ඉදිරි ගමනට අකුල් හෙළන අයත් ඉන්නවා. ඒ වගේම ඒ ඉදිරියට එන පිරිස අතර වුනත් තියෙන එකමුතුව අඩුයි කියලයි මට හිතෙන්නේ. ඔවුන්ගේ නිර්මාණ සහ අරමුණු අනුව එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් ඔවුන් එක්ව සිටිනවානම් තවත් යමක් සිනමාවට කරන්න පුළුවන්ය යන්නයි මගේ හැඟීම..”

2012 වසරේ මැද වන රසිකයන් වෙත Re-Entry සිනමා කෘතිය ලංකාවේ හා සමගාමීව එංගලන්තය, නවසීලන්තය, වැනි විදෙස් රටවල් කිහිපයකත් තිරගත කිරීමෙන් අනතුරුව මෙය ඩීවීඩී (dvd) තැටියක් ලෙසින් ජාත්‍යන්තර සිනමා වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි. ඒ සඳහා ජනප්‍රිය වෙළඳ සමාගමක් වන Vertigo Films මේ වනවිටත් ඔහු හා එකඟ වී තියෙනවා.

“Re-Entry” රූගත කිරීම්:


http://www.youtube.com/watch?v=o3GTMBMTcrA
 

 

“Train To Kandy” ප්‍රචාරක දර්ශනය:

“Train to Kandy” seven minute promo – Feature film from Ray Jay on Vimeo.

http://vimeo.com/28071227
 

– සිංහලයා පුවත් වෙනුවෙන්,

එරංග හේමජිත් හා අංජුල රසාංග

 

 

Shortlink:

Share This Post

One Response to Ray J – ලංකාවේ මුල්ම ත්‍රිමාණ (3D) සිනමා නිර්මාණය සමග එන නව පරපුරේ සිනමා නිර්මාණකරුවා..

  1. buddika Jayaweera

    Machan uba nam advitiyai kiyala mata hitenawa….. mokada mamath short films , dramas karana kenek. mama kamathi oya ekka wada karanna…. if you can give me a chance…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *