ශ්‍රී ලංකාවේ කටයුතු වලට ඉන්දීය නොවන මැදිහත්වීම් වැලැක්වීමට ඉන්දියාව කටයුතු කල යුතුයි – ඇමෙරිකාවේ අවෙරි

ආසියානු කලාපය තුල චීනයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉන්දියාව වහා ප්‍රතිචාර දැක්විය යුතු බවත්, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කටයුතු වලට චීනයේ මැදිහත්වීම වලක්වා චීනය ශ්‍රී ලංකාවෙන් ඉවත් කල යුතු බවත් ඉන්දියාවේ හිටපු ඇමෙරිකානු කොන්සුලර්වරයකු වන විලියම් අවෙරි පවසනවා.

ආසියානු කලාපය තුල ඉන්දීය, චීන බල පැවැත්වීම් හා ඉන්දියාව සමග ඇමෙරිකාව ගොඩනගා ගත් සබඳතා ආශ්‍රය කොට ගෙන අවෙරි විසින් රචිත නවතම ග්‍රන්ථයේ ඔහු මේ බව සඳහන් කොට ඇති අතර, ශ්‍රී ලංකාව, පාකිස්ථානය, මියන්මාරය හා නේපාලය යන කලාපීය රටවල සංවර්ධන කටයුතු සඳහා චීනය විසින් ආධාර ලබාදීම ඉන්දියාවට කිසියම් අපුලක් ගෙන දෙන ක්‍රියාවක් බවයි අවෙරි තම පොතෙහි සටහන් කොට ඇත්තේ.

ලොව මීලඟ බලවන්තයා ලෙස ඉන්දියාව පත්වන බව පවසමින් ඉන්දියාවට ප්‍රමුඛත්වයක් දෙමින් මොහු සිය පොත ලියා ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

බටහිර හා යුරෝපීය ආර්ථිකයන් කඩා වැටීම සමග මහජන චීන සමූහාණ්ඩුව එම ප්‍රවාහයට හසු නොවී, ආර්ථික වශයෙන් ස්ථාවර ව සිටීම, තමන් මෙතෙක් ලොව පුරා පැතිරූ ආධිපත්‍යයට පහරක් ලෙස ඇමෙරිකාව සලකන බව ඔවුන් චීනයේ ක්‍රියාකාරකම් වලට දක්වන ප්‍රතිචාර වලින් හැඟී යනවා. එය වඩාත්ම සමාන කල හැක්කේ “කපන්න බැරි අත සිඹීම” යන සිංහල උපමාවටයි.

එසේම, ශ්‍රී ලංකාව සමග ද චීනය විසින් බොහෝ සමීපව කටයුතු කිරීම මෙතෙක් ශ්‍රී ලංකාවේ කටයුතු වල සෘජුව හා අනියමින් බලපෑම් කල ඉන්දියාවත් එතරම් නොරිස්සූ කාරණයක් වූවා. කෙසේ නමුත්, අවෙරි ගේ මේ ග්‍රන්ථය හරහා ද චීනයට එරෙහිව ඉන්දියාව උසිගැන්වීමක් බලාපොරොත්තු නොවන්නේ ය යන කාරණය ද නොසලකා හැරිය නොහැකියි.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *