Tour De Youth දක්වා විකාශනය වූ ශ්‍රී ලංකාවේ පාපැදිය..

මෝටර් රථයක් සමඟින් රුපියල් ලක්ෂ 40 කට ආසන්න ඉතිහාසයේ දැවැන්තම තෑගි මල්ල පිරිනමන “ටුවර් ඩී යූත්” පා පැදි සවාරිය 2011 දෙසැ.08,09,10 මඩකලපුවේ සිට මාතර දක්වා පැවැත් වේ. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.

“ශ්‍රී ලංකා සයිකල් මැරතන් තරගය”, මෙරට ප්‍රථම පාපැදි තරගය ලෙස සැලකේ. එවකට අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1950 මැද භාගයේදී පවත්වනු ලැබූ මෙම පාපැදි තරගය දුරින් සැතපුම් 30 ක් විය. දිනමිණ පුවත්පතේ පූර්ණ අනුග්‍රහය යටතේ ගාලූමුවදොරින් ඇරඹි, මෙම තරගයේ ජයග්‍රාහකයා වූයේ පන්නිපිටියේ ඩී.කේ.ගුණරත්න මහතා ය. ලක්වැසී ක්‍රීඩා ලෝලීන් මහත් රුචිකත්වයක් දැක්වූ මෙම පාපැදි තරගයේ තොරතුරු දැනගැනීමට එදා ගුවන්විදුලි යන්ත්‍ර වටා ඒකරාශී වූ පිරිසද බොහෝ ය. එකල එකම සන්නිවේදන ආයතනය වූයේ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි.

පළමු පාපැදි තරගයෙන් වසර 5 ක් 6 ක් ගතවන විට ලංකාවේ පාපැදි තරග පිළිබඳ උනන්දුව දෙගුණ තෙගුණ වන්නට විය. තරගකරුවන්, ප්‍රේක්ෂකයින් මෙන්ම අනුග්‍රාහකයින්ද වැඩිවී තිබුණි. ස්ටෑන්ඩඩ් වර්ගයේ පාපැදි වලට අමතරව රේසිං වර්ගයේ පාපැදි ද ඉතා සුළු වශයෙන් පාපැදි ක්‍රීඩාවට එක්විය. බොහෝවිට රේසිං පාපැදි භාවිත කළේ, මහා රැජිනගේ රාජකීය හමුදාවේ සුදු ජාතිකයන් ය. ශ්‍රී ලාංකික පාපැදිකරුවන් කීපදෙනෙකුද රේසිං පාපැදි භාවිතා කළේ ය. මෙකල බොහෝ විට සිදුවූයේ රේසිං සහ ස්ටෑන්ඩඩ් පාපැදි එකම තරග පොකුරේ ආරම්භ කිරීම යි. ශ්‍රී ලංකාවේ නිල වශයෙන් පාපැදි තරගයක් පවත්වන ලද්දේ 1955 වසරේදී ය. ස්ටෑන්ඩඩ් සහ රේසිං දෙවර්ගයෙන්ම පැවති මෙම තරගය 1955 අප්‍රියෙල් 11 වන දින ජනතා පුවත්පතේ අනුග්‍රහයෙන් පවත්වන ලදී. පාර්ලිමේන්තු මන්දිරය අභියසින් ආරම්භ කරන ලද මෙම තරගය, හයිලෙවල් පාර මහරගම දෙහිවල ගාලූපාර ඔස්සේ පැමිණ ලේක්හවුස් ආයතනය අභියසින් අවසන් විය. මෙම තරගයෙන් වැල්ලවත්තේ ජෝර්ජ් පීටර්සන් සහ දෙහිවල ඒ.එන්.කීල්, රේසිං අංශයෙන් ද රාගම, ඊ. ඇලෝසියස් සිල්වා, බලපිටියේ, ඩබ්ලිව්. සුගතදාස, කොළඹ ඩබ්ලිව්. බොතේජු ස්ටෑන්ඩඩ් අංශයෙන් ද ජය ලැබී ය.

1955 අප්‍රියෙල් 13 දින ජනතා පත්‍රයේ අනුග්‍රහයෙන් පැවති සැතපුම් 62 පාපැදි තරගයේ ජයග්‍රාහකයා වූයේ ද ඇලෝසියස් සිල්වා ය. රාගම රයිඩර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඇලෝසියස් සිල්වාට මෙම තරගයේ පළමු ත්‍යාගය ලෙස ලැබුණේ රුපියල් සියයකි (100). එකල ඔහුට ප්‍රදේශයේ ක්‍රීඩා ලෝලීන් අළුත්ම රැලේ බයිසිකලයක්ද පරිත්‍යාග කර තිබේ. 1955 වසරේ ම පවත්වන ලද “සැඩසුළං” නම් වූ පාපැදි තරගය 50 දශකයේ පැවති දැවැන්ත ම පාපැදි තරගය විය. ඒ සඳහා තරගකරුවන් 1000 කට අධික පිරිසක් සහභාගී වී ඇත. කොළඹ ගෝල්ෆේස් පිටියෙන් ආරම්භ කරන ලද මෙම තරගය ආරම්භයේදී ම තරගකරුවන් එකිනෙකා පැටලී වැටී විශාල පිරිසකට තරගයෙන් ඉවත්වීමට සිදුවිය. මෙහි ත්‍යාග ඛෙදාදෙන ලද්දේ එවකට අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතා විසිනි. 1960 දශකය පමණ වන විට පාපැදි තරග ඛෙහෙවින් ජනප්‍රිය ව පැවතුණි. ස්ටෑන්ඩඩ් පාපැදි වලට වඩා රේසිං පාපැදි තරග ඛෙහෙවින් ජනප්‍රිය විය. ක්‍රීඩකයින්ට අමතරව ක්‍රීඩිකාවන්ද පාපැදි තරගවලට අවතීර්ණ වෙමින් තිබිණ. රේසිං සයිකල් වලින් තරග වලට ඉදිරිපත් වූ ක්‍රීඩිකාවන් ද සීඝ්‍රයෙන් වර්ධනය විය. මේ යුගය ශ්‍රී ලංකා පාපැදි ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

මෙකල ප්‍රධානත ම බයිසිකල් සංගම් කීපයක් ද විය. පැරගන්, ස්ටාපන්විලර්ස්, රාජකීය ගුවන් හමුදා ඒ අතර ප්‍රධාන විය. ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පාපැදි ශූරයෙකු වූ, 1960 රෝම ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ මොරිස් කුමාරවෙල් නියෝජනය කළේ ද ස්ටාපන්විලර්ස් සයිකල් ක්‍රීඩා සමාජය යි. 1960 දශකයේ ඇලෝසියස් සිල්වා, අර්වින් ප්‍රනාන්දු, වයි.ඇම්.ගුණරත්න, ජයරත්න මදුරසිංහ, ඇන්තනී සීමන්ස් ආදීහු ප්‍රබලතම ස්ටෑන්ඩඩ් පාපැදිකරුවන් විය.

ශ්‍රී ලංකා පාපැදි ක්‍රීඩාව රජයේ පරිපාලනයට යටත් වන්නේ, 1950 මැද භාගයේ ය. “සිලෝන් සයිකල් යුනියන්” නමින් ආරම්භ වූ මෙම සංවිධානය ආසියාතික ඔලිම්පික් කමිටුව සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අනුබද්ධ ව පවත්වාගෙන යන ලදී. මේ මඟින් එකල පවත්වන ලද ප්‍රධානතම පාපැදි තරග කීපයකි. ටුවර් ඔෆ් ද වැලි, පැරගන් ගෝන් ප්‍රී, නැෂනල් ට්‍රයිම් ට්‍රසල් වැනි තරග මේ අතර ප්‍රධාන විය. විදෙස් තරග සඳහා සුදුස්සන් තෝරාගනු ලැබුවේ ද මෙම තරග වල ප්‍රතිඵල පදනම් කරගෙන ය. 50 දශකයේ අවසානය වන විට පාපැදි ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය ව පැවතුනි. ක්‍රීඩා සමාජ හා පාපැදි කරුවන්ගේ දක්ෂතා පදනම් කරගෙන බලපත්‍ර නිකුත් කෙරුණි. විදෙස් තරග සඳහා පූර්ව තරග පැවැත්වීම ද සිදුකෙරුණි. එකිනෙකාගේ සුහදත්වය වර්ධනය කරගත හැකිවන අයුරින් ඉතා විනයානුකූල ක්‍රීඩාවක් ලෙස පාපැදි ක්‍රීඩාව පැවැත්විණි. මොරිස් කුමාරවෙල්, ඇන්තනී සීමන්ස්, ට්‍රෙවෝ නිව්ටන්, එම්.අල්විස් වීරක්කොඩි, ෂර්ලි ප්‍රනාන්දු මේ යුගයේ අති ප්‍රබල රේසිං පාපැදිකරුවන් විය.

මෙකල ලේක්හවුස් ආයතනයට අමතරව මොණරා, රැලේ, හන්ටර් බයිසිකල් සමාගම්, කාගීල්ස්, මිලර්ස් වැනි සමාගම් ද පාපැදි තරග සඳහා අනුග්‍රහය දැක්වීය. 1956 “දි ටුවර් ඔෆ් ද වැලි” සැතපුම් 120 රේසිං පාපැදි තරගය එවකට ලංකා පාපැදි සංගමය සහ වින්ග් වීල් පාපැදි සංගමය ඒකාබද්ධ ව සංවිධානය කරන ලදී. මෙහි ජයග්‍රාහකයා වූයේ ජෙරල්ඩ් රයිලි නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඔහු එවකට රාජකීය ගුවන් හමුදාවේ සේවය කල අයෙකි. රාජකීය ගුවන් හමුදාවේ පාපැදි ක්‍රීඩකයින් රේසිං බයිසිකල් යොදාගැනීම, ඒවා අප රටේ ද ජනප්‍රිය වීමට හේතු විය. ක්ලෝඩ් බට්ලර්, මයිකිං, රැලේ, මෙල්වින් කෑම්ප්, ක්ලෙමන්ඩ් ආදී රේසිං සයිකල් එකල පිටරටින් ගෙන්වන ලද පාපැදි වර්ග කීපයකි. එවකට හොඳ වර්ගයේ රේසිං පාපැදියක් රුපියල් 3000/- ක් පමණ විය. ලංකාවේ පළමුවැනි බයිසිකල් කර්මාන්ත ශාලාව මොණරා බයිසිකල් සමාගම යි. පන්නිපිටියේ පිහිටුවන ලද මෙම බයිසිකල් සමාගම, ලංකා සවාරියට දෙවරක් අනුග්‍රහය දක්වා තිබේ. 1960 දී සහ 1967 දී ලංකා සවාරිය ජයග්‍රහණය කල ජිනදාස අල්විස් ඒ සඳහා යොදාගත්තේ “මොණරා” පාපැදියකි. හන්ටර්, හම්බර්, රජ්වෝකර් ඇන්ඩ් ග්‍රින් වැනි ආයතන ලෝක සවාරියේ ශූරයින් සිය පාපැදි ප්‍රචාරය සඳහා යොදාගත්තේ ය. මොරිස් කුමාරවෙල් රැලේ ආයතනයේද ඇන්තනි සීමන්ස්, රජ් වෝකර් ඇන්ඩ් ග්‍රීන් ආයතනයේ ද මෙසේ ප්‍රචාරය සඳහා යොදාගන්නා ලද දක්ෂත ම පාපැදිකරුවන් දෙදෙනෙකි.

මේ වන විට ලෝකය පුරාම පාපැදි තරග ජනප්‍රිය වී තිබේ. මෙයින් යුරෝපය විශේෂ ස්ථානයක් ගනී. ඉතාලිය, ස්පාඤ්ඤය, ඛෙල්ජියම, ජර්මනිය, ඩෙන්මාර්කය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්විස්ටර්ලන්තය, ආදී රටවල් ජාත්‍යන්තර තලයේ පාපැදි තරග පවත්වයි. මෙම බොහෝ තරග පැවැත්වෙන්නේ වසන්ත කාලයේ ය. ලෝකයේ ප්‍රථම පාපැදි තරගය 1868 මැයි 31 වන දින පැරිසියේ දී පවත්වා තිබේ. ඉංග්‍රීසි ජාතික ජෙම්ස් වොරේ විසින් ජයග්‍රහණය කරන ලද මෙම තරගය දුරින් මීටර් 1200 ක් විය. ඔහු ඒ සඳහා යොදාගෙන ඇත්තේ ලීයෙන් නිමකල යකඩ ටයර් සහිත බයිසිකලයකි. අද එය එංගලන්තයේ කේම්බ්‍රිජ් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. 1900 දී පිහිටුවා ගන්නා ලද ජාත්‍යන්තර පාපැදි සම්මේලනය පාපැදි ක්‍රීඩාව ලොව පුරා ජනප්‍රිය කරවීමට ඛෙහෙවින් ඉවහල් විය. මේ සඳහා ඛෙල්ජියම, ඇමරිකාව, ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය යන රටවල් පෙරමුණ ගත්තේය. 1896 දී පවත්වන ලද පළමු ඔලිම්පික් තරගයට පාපැදි ක්‍රීඩාවද ඇතුලත් විය. ලෝක පාපැදි සම්මේලනය 1900 දී ආරම්භ වූවත් ශ්‍රී ලංකා පාපැදි සංගමය ආරම්භ කරන ලද්දේ 1955 දී ය. එහි ප්‍රථම සාමාජිකයා වූයේ වින්ග්වීල් පාපැදි සංගමය යි. 1960 දී පවත්වන ලද ඔලිම්පික් පාපැදි තරගය සඳහා ශ්‍රී ලංකාවෙන් මොරිස් කුමාරවෙල් සහ ඇන්තනීස් සීමන්ස් තෝරා ගන්නා ලදී. එසේ තිබියදී අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතාගේ හදිසි වියෝව හේතුවෙන් රටේ පැනනැඟී තිබූ මුදල් තත්ත්වය මත ඔලිම්පික් තරගය සඳහා පෙරදී ක්‍රීඩකයින් දෙදෙනෙකු සහභාගී කරවීමට තෝරාගෙන තිබුණත් අවසානයේ එක් ක්‍රීඩකයෙකු බැගින් සහභාගී කරවී ය. ඒ අනුව 1960 ඔලිම්පික් තරගය ශ්‍රී ලංකාව නියෝජනය කල පාපැදි ක්‍රීඩකයා වීමේ ගෞරවය මොරිස් කුමාරවෙල්ට හිමිවිය. 1960-70 දශකය තුල ධාවන පථ තුල පවත්වන ලද පාපැදි තරගයේදී ට්‍රෙවෝයි ද සිල්වා තුන්වන ස්ථානය ලබාගැනීමට ද සමත් වී තිබේ. පාපැදිය දුප්පතාගේ වාහනය වූවත්, පාපැදි තරග සඳහා වැය වන විශාල මුදල දුප්පතාට කිසිසේත් දරාගත නොහැකි ය. වර්තමානය වන විට මධ්‍යම මට්ටමේ රේසිං පාපැදියක් රුපියල් ලක්ෂ 5 ක් පමණ වේ. ලක්ෂ 10 සහ ඊට අධික මිල ගණන් වල පාපැදි ද ඇත. බොහෝ විට පාපැදිකරුවන් ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ ව පාපැදි ක්‍රීඩාවේ යෙදීමට ප්‍රධාන හේතුව වී ඇත්තේද මෙයයි.

ශ්‍රී ලංකාව ලෝක පාපැදි සම්මේලනයේ සාමාජික රටකි. නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩයින් ලෝක පාපැදි තරග සඳහා සහභාගී කරවීමට තරම් දක්ෂතාවයන්ගෙන් යුක්ත නැත. ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩකයින් සහභාගී වන්නේ දකුණු ආසියානු සහ ආසියානු තරග සඳහා පමණි. මීට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයීය තරග සඳහා ද සහභාගී වේ. ප්‍රංශ සවාරිය, ඉතාලි සවාරිය ආදී තරග සඳහා ශ්‍රී ලංකාවේ තරගකරුවන් සහභාගී කරවීමට පාපැදි ක්‍රීඩාව තුල අප තවත් බොහෝ දුර යා යුතුය. ඒ සඳහා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වත්මන් උත්සාහය අනාගතයට සුභ පෙරනිමිත්තකි. මෑත යුගයේ පාපැදි ශූරයින් වූ හැන්ර්ඩසන්,බොනිපස් පෙරේරා, සුමනවීර ආදීන් පාපැදි ලෝලීන් මුවග අදත් රැව්දෙන නාමයන් ය. එවන් ක්‍රීඩකයින් වර්තමානයේ බිහිවන බවක් ද පෙනෙන්නට නැත. 1993 දී කමල් පාලිත ලංකා සවාරියේ ජයග්‍රාහකයා වූ විට පළමු ත්‍යාගය ලෙස ලැබී තිබුණේ රුපියල් 15,000/- කි. ඒ සඳහා ඔහුට රුපියල් 50,000/- ක් පමණ වැය වූ බව ලියුම්කරු සමඟ ප්‍රකාශ කළේය. මෙවැනි සොච්චම් ත්‍යාග මුදල් පාපැදි ක්‍රීඩාව නැංවීමට කිසිසේත් ඉවහල් වන්නේ නැත. ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩාවට දැවැන්ත දායකත්වයක් ලබාදුන්නේ 1960 දී ආරම්භ කරන ලද “ලංකා සවාරිය” යි. එය එදා මෙදා තුර ලංකාව පුරා පවත්වන ලද ප්‍රධානතම පාපැදි තරගය විය. එය 2005 වසරින් පසුව මෙතෙක් පවත්වා නැත. ලංකා සවාරිය නැවත පැවැත්වීමට මෙය හොඳම කාලය යි. සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සව වලදී පැවැත්වෙන පාපැදි තරග හුදෙක් ම විනෝදය පිණිසම පමණක් වන අතර එය ජාත්‍යන්තර ක්‍රීඩකයින් බිහිකිරීමට තරම් උසස් මට්ටමකින් යුක්ත නොවේ.
වර්තමානයේ තරග ජයග්‍රාහකයින්ට ලැඛෙන ත්‍යාගයන්ගේ වටිනාකම ඒ සඳහා ඔවුන්ට වැය වන මුදල සමඟ සසදන කල ඉතා අඩු මුදලකි. පාපැදි ක්‍රීඩාව කඩා වැටීමට එක් හේතුවක් වී ඇත්තේද මෙයයි. එවන් තත්ත්වයක් තුල ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ජාතික තරුණසේවා සභාව පවත්වන “ටුවර් ඩි ශ්‍රී ලංකා යූත්” ස්ටෑන්ඩඩ් පාපැදි සවාරිය දැඩි නියගයට පොද වැස්සක් වැනි ය. ප්‍රවීන පාපැදි කරුවන් වන ඇන්තනී සීමන්ස්, කමල් පාලිත වැන්නවුන් මේ පිළිබඳව සඳහන් කරන්නේ පාපැදි ඉතිහාසයේ දැවැන්ත ම තෑගි මල්ල මෙම තරගයේදී පාපැදි ක්‍රීඩකයින්ට ලැඛෙන බවයි. එය අනාගත පාපැදි ක්‍රීඩාවේ උන්නතියට තබන ලද යෝධ පියවරක් බවද ඔවුහු කියති.

අවම වියදමින් ගමනාගමන පහසුකම් සලසා ගත හැකි ලොව ජනප්‍රියත ම වාහනය පාපැදිය යි. ශ්‍රී ලංකාවේ පාපැදිය උතුරේත්, නැගෙනහිරත් වැඩි වශයෙන් භාවිතා වේ. ඒ නිසාම ටුවර් ඩි ශ්‍රී ලංකා යූත් පාපැදි සවාරිය මඩකලපුවේ සිට අදියර 03 ක් යටතේ මාතර දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. දෙසැම්බර් 08 දින මඩකලපුවෙන් ඇරඹෙන මෙම පාපැදි සවාරියට තරගකරුවන් 500 කට අධික පිරිසක් සහභාගී වේ. එය සිංහල, දෙමළ, සහෝදරත්වයේ නව පාලම ගොඩ නඟන යෝධ කණුවක් වැනි ය.

– සිංහලයා පුවත්

(ප්‍රවීණ පාපැදි ශූරයින් වන ඇන්තනී සීමන්ස්, කමල් පාලිත සහ පාපැදි සම්මේලනයේ භද්‍රා පුෂ්පා රංජනී යන මහත්ම මහත්මීන්ට විශේෂ ස්තූතිය හිමි වේ..)

ජයකාන්ත ලියනගේ
(ප්‍රවෘත්ති නිලධාරි – යෞවන කටයුතු අමාත්‍යංශය)

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *