අපරාධ නඩු විධි විධාන සංශෝධන මින් ඉදිරියට සිදුවන්නේ, පක්ෂ නායක රැස්වීමේ දී ඒ පිළිබඳව සාකච්ඡා කොට සියළු පක්ෂ වල එකඟතාව මත පමණක් බව, වැඩබලන ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ඇමතිවරයා මේ බව සඳහන් කලේ, අපරාධ නඩු විධි විධාන සංශෝධන සම්බන්ධයෙන් ඊයේ (08 වනදා) පාර්ලිමේන්තුව තුල ඇතිවූ ගැටලුකාරී තත්වය පිළිබඳව පැහැදිලි කරමින්.
“ත්‍රස්තවාදය පරාජය කල පසු රටේ තිබුනු නීති, හදිසි නීති රෙගුලාසි ක්‍රමයෙන් ලිහිල් කෙරුනා. තවත් සමහර නීති ඉවත් කෙරුනා. හදිසි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කලේ එයට මුවාවී රටේ ජනතාවගේ නිදහස අහිමි කිරීමට රජයට අවශ්‍යතාවක් නැති නිසයි. නමුත් තවමත් ප්‍රශ්න කිරීම පිණිස රඳවාගෙන සිටින පුද්ගලයින් සිටිනවා. රට අස්ථාවර කිරීමට උත්සාහ කරන පිටස්තර බලවේග හා රටේ ආරක්ෂාව සම්බන්ධව පවතින නීති රාමුව තුල ක්‍රියා කිරීමට කිසියම් ක්‍රම වේදයක් අපට අවශ්‍යයි. නමුත් රජය විසින් මේ කිසිදු නීතියක් සංශෝධනය කරන්නේ නැහැ සියළු පක්ෂ වල එකඟතාව නොමැතිව..” යැයි ද අබේවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.
- සිංහලයා පුවත්
Shortlink: