ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතයින් 68,600ක් තමිල්නාඩුවේ දුක් විඳිති..


දකුණු ඉන්දියාවේ කඳවුරු සියයකට ආසන්න සංඛ්‍යාවක සහ ඒවායෙන් පිටත සරණාගතයින් ලෙස ඉතා දුක්ඛිත ජීවිත ගත කරන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාව 68,600කට ආසන්න බව ඉන්දියානු වාර්තා සඳහන් කරයි. මින් බොහෝ පිරිසක් ඉන්දියාවට පැමිණ ඇත්තේ මීට වසර 20කට හෝ ඊට පෙර ය.
 
මේ සරණාගත පිරිසෙන් 34,000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියානු ආවාහ, විවාහ සිදුකොට ගෙන කඳවුරු වලින් පිටත වාසය කරන අතර සමස්ත සරණාගත ජනයාගෙන් 60%කට ආසන්න පිරිසක් ඉපදී ඇත්තේ ඉන්දියාවේ බව ද පැවසේ.
 
නමුත් මේ කිසිවෙකුට ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය මෙතෙක් ලැබී නොමැති වීම ද විශේෂත්වයකි. සරණාගතයින් පිළිබඳව ඉන්දියාවේ පවතින නීති රීති සහ සරණාගත පදනමින් පැමිණි සමහරුන් නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වී තිබීම යනාදී හේතුන් නිසා මේ සියල්ලන්ටම ඉන්දියානු පුරවැසිභාවය ලබාදීමට නොහැකි වී තිබේ. මේ කඳවුරු වල වෙසෙන්නන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් ද ඉතා අවම මට්ටමක පවතින අතර, මේ ජනතාව තමිල්නාඩුවට ඉතා බරපතල සමාජ ප්‍රශ්නයක් බවට ද පත්ව තිබේ.
 
ශ්‍රී ලංකාවේ පැවති සරණාගත කඳවුරු තුල පහසුකම් පිලිබඳව විටින් විට දැඩි අවධානයකින් පසු වූ රාජ්‍ය නොවන සංවිධාන, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තමිල්නාඩුව තුල පිහිටි මේ කඳවුරුවල පවතින ඉතා දුක්ඛිත තත්වය පිලිබඳ සොයා නොබලන්නේ මන්ද යන්න ගැටළුවකි.
 
ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ප්‍රශ්නයක් ඇතැයි පවසමින් අතපොවන්නට උත්සාහ කරන කොටස්, ද්‍රවිඩ සන්ධානය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ කිසිදු කඳවුරක ආහාර, සෞඛ්‍ය හෝ සරණාගතයින්ගේ සම්බන්ධව සාධනීය සොයා බැලීමක් සිදුකර ඇත්ද යන්න සැක සහිත ය. විශේෂයෙන්ම මන:කල්පිත ශ්‍රී ලාංකික ද්‍රවිඩ ප්‍රශ්නයක් මතුකරමින් මහත් උනන්දුවෙන් කටයුතු කරන ද්‍රවිඩ සන්ධානයට, මේ කඳවුරු වල වෙසෙන සහෝදර දෙමළ ජනතාව නැවත ගෙන්වා ගෙන ඔවුන්ව මුල් ගම්බිම් වල පදිංචි කිරීමේ ක්‍රියාවලියට සහයෝගය දීමේ බලාපොරොත්තුවක් ද නොමැති ගාණ ය.
 
තමිල්නාඩු මහ ඇමතිනී, ජයලලිතා ජයරාම් මහත්මිය විසින් මේ සියළු සරණාගතයින්ට මසකට ඉන්දියානු රුපියල් 1000 බැගින් වන දීමනාවක් ලබාදීමට කටයුතු කිරීම පැසසිය යුතු වුව ද, එය හුදෙක්ම දේශපාලන ගුණ්ඩුවක් විය හැකි බව ඉන්දීය දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

 
– සිංහලයා පුවත්
 
 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *