එජාප නායකත්ව අර්බුදය පිටුපස “ඉවැන්ජලික” හස්තයක් ?

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය පිළිබඳව ප්‍රශ්නය ඊයේ (17 වනදා) නැවතත් මතු වුනේ එජාපයේ සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන පිරිස් කොළඹ විහාර මහ දේවි උද්‍යානය අසල පැවැත්වූ උද්ඝෝෂණයත් සමගයි. මේ අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා දේශපාලන ප්‍රවාහයේ වෙනත් පක්ෂ වල අදහස් විමසන්නට සිංහලයා පුවත් ඒජන්සියේ අප තීරණය කලා. ප්‍රථමයෙන් අප සම්බන්ධ කරගත්තේ ජාතික හෙළ උරුමය පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතායි.

 
පහත දැක්වෙන්නේ ඒ මහතා විසින් සිංහලයා පුවත් ඒජන්සිය සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවේදී දැක්වූ අදහස්.

ප්‍රශ්ණය:එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වයට එරෙහි පිරිස් මේ තාක් එම පක්ෂය තුල ගෙන යන විරෝධතා සහ අද පැවැත්වූ මේ උද්ඝෝෂණය සම්බන්ධව ඔබතුමාගේ අදහස් ?

පිළිතුර: “රනිල් වික්‍රමසිංහගේ නායකත්ව කාලය තුල එජාපය දිගින් දිගටම ලැබූ පරාජයන් තුලින් ඔවුන්ගේ ඡන්ද පදනම, ඡන්ද ප්‍රතිශතය දරුණු ලෙස සෝදාපාලුවට ලක් වුනා. රනිල්ට ඡන්දයක් දිනාදෙන්නට, දිනාගන්නට හැකියාවක් නැතය යන මතය පක්ෂ අභ්‍යන්තරයෙන්ම මතුවී ආවෙ මෙහි ප්‍රතිපලයක් හැටියට. පාක්ෂිකයින් කලකිරුනා. රනිල්ව තවදුරටත් මාකට් කරන්න බැරි කල් ඉකුත් වූ භාණ්ඩයක් ලෙසයි ඔවුන් සලකන්නේ. එජාපයේ පාක්ෂිකයින් තුල ඇතිවූ කලකිරීම නිසා පක්ෂය තුල වරින් වර කැරලි ඇති වුනා, මීට කලින් වුනු කැරලි වලදී ඒ ඒ පිරිස් ආණ්ඩුවට එකතු වුනා. අද අපි දැක්කේ ඒ කැරලි වීදි සටන් දක්වා වර්ධනය වීමක්. මේ අවස්ථාවෙදි සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එකතු නොවී පක්ෂය තුලම ඉඳගෙන නායකත්වය වෙනස් කරන්නයි ත්සාහ ගන්නේ. ඔහුගේ එකම අරමුණ ඒකයි දැන්.

මීට කලින් ලෝකේ අපි දැක්කේ ආණ්ඩුවක් ගෙදර යවන්න, ආණ්ඩුවක් පෙරලන්න විරෝධතා දක්වන පිරිස්. නමුතු දැන් ලංකාවෙ ඇතිවෙලා තියෙන්න ඊට වෙනස් අපි කලින් නොදුටු තත්වයක්. විපක්ෂයේ පිරිස් තමන්ගේ පක්ෂ නායකයා එපා කියලා, ඔහුට ගෙදර යන්න කියල කියන තත්වයක් දැන් තියෙන්නේ. එජාපය තුල නායකත්ව අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා, ඒකයි ඇත්ත.

අනික් දේ තමයි, එජාපය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම ලක්ෂණය තමන්ගේ පාක්ෂිකයින්ට ඇහුම්කන් දීම, සහ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳීම. නමුත් එජාපයේ නැත්තේත් ඒකමයි. ඇත්තටම එජාපයේ තියෙන්නේ ඒකාධිපතිවාදයක්. ටියුනීසියාවේ බෙන් අලි නැත්නම් ඊජිප්තුවේ හොස්නි මුබාරක්, එහෙමත් නැත්නම් ලිබියාවේ ගඩාෆිට අපිට රනිල් වික්‍රමසිංහ මහතාව සමාන කරන්න පුළුවන්, ඔහු කරන්නේත් එයමයි. අවුරුදු 20ක සිට ඔහුගේ නායකත්වය යටතේ ඡන්ද පැරදුනාට මොකද ඔහු පක්ෂ ව්‍යවස්ථාව පලිහක් කරගෙන කෘත්‍යාධිකාරි මණ්ඩලය තුල හරි රැකෙන්න උත්සාහ කරනවා, ඔහු එක්තරා විදියකට ව්‍යවස්ථාව ඇතුලේ කොටු වෙලා නමුත් ඔහු එය පලිහක් විදියට භාවිතා කරනවා.

මේ කොච්චර විරෝධතා තිබ්බත් එජාපයේ නායකත්වය වෙනස් කරන්න පුලුවන් ව්‍යවස්ථාවෙන් විතරමයි.”

ප්‍රශ්නය: මීට පෙර සජිත් ප්‍රේමදාස මහතා තමන්ම මේ නායකත්ව තරඟයට ඉදිරිපත් වුනා. නමුත් පසුව ඔහු නියෝජ්‍ය නායකකම පිලිගෙන නායකත්ව සටන අත හැර දැමුවා සේයි අප දුටුවේ. දැන් ඔහු කරූ ජයසූරිය මහතාව නායකත්වයට පත්කරවන්න උත්සාහ කරනවා. මෙය ඔබ දකින්නේ කෙසේ ද ?

පිළිතුර: “සජිත් දැන් සටන අත ඇරලා උපායශීලීව කරූ ජයසූරිය මහතාව යොදා ගන්නව. නමුත් කරූ ජයසූරිය මහතාට අවශ්‍ය නායකත්වය බලෙන් ලබාගන්න නොවෙයි. ඔහුට අවශ්‍ය රනිල් පිලේ, සජිත් පිලේ දෙපැත්තෙම ආශිර්වාදය ඇතුව පක්ෂ නායකත්වය ගන්න සහ පක්ෂය දෙකඩ නොකරන්න. ඔහු ක්‍රියාකරන්නේ ඒ සඳහායි. මධ්‍යස්ථ සිංහල බෞද්ධ නායකයා විදියට ඉදිරියට එන්නයි ඔහු උත්සාහ කරන්නේ.

විපක්ෂයේ මේ දුර්වල තත්වය, අර්බුද වලින් වාසි ලබන පිරිස් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන මුවාවෙන් අනියමින් උත්සාහ කරන්නේ විපක්ෂ නායකකම ඔහුටම ලැබෙන ලෙස කටයුතු සිදු කරන්නයි. මේ සත්‍යග්‍රහය සහ ඊට පසුව සිදුවූ සිදුවීම් එකිනෙක විමසා බැලූ විට එය පෙනී යනවා. ගැටුම් තියන තුරු විපක්ෂය දුර්වලයි. විපක්ෂය දුර්වල වෙන්න නම් ගැටුම් අවශ්‍යයි. ඉතින් ගැටුම් නිර්මාණය වීමත්, නිර්මාණය කිරීමත් මේ අදාල පාර්ශව තුලින් සිදුවනවා.”

ප්‍රශ්ණය: මේ නායකත්ව අර්බුදය ජාතික හෙළ උරුමය පක්ෂය දකින්නේ කෙසේ ද ? කුමක්ද ඔබ පක්ෂයේ අදහස ?

පිළිතුර: “ජාතික හෙළ උරුමය විදියට මේ කතාවේ නොදුටු පැත්ත අපි දකිනවා. සජිත් පිලේ මේ විරෝධතා පිටිපස්සෙ ඉන්න බලවේග මොනවද කියලා සොයන්න අවශ්‍යයි. බොහෝ ලෙසම සිංහල බෞද්ධ විරෝධී බලවේග මේ පිටුපස සිටිනවා. ක්‍රිස්තියානි මූලධර්මවාදී කණ්ඩායම් මේ පිටිපස්සේ ඉන්නවා කියන සැකය අපිට තියෙනවා. අද විරෝධතාවට ආපු අය ගන්න. රෝසි සේනානායක, සුජීව සේනසිංහ වගේ අය. රෝසි කියන්නේ “බෝර්න් අගේන්” කියන ක්‍රිස්තියානි මූලධර්මවාදී කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක්. ඒ වගේම වෙනත් අයව ආගම් වෙනස් කරවන්න රෝසි මැදිහත් වෙනවා. එය අප දන්නා දෙයක්. විශේෂයෙන්ම ප්‍රබල දේශපාලන පවුල් වල අයගේ ආගම් වෙනස් කරවීමට රෝසි සේනානායක ප්‍රබල ලෙස මැදිහත් වෙනවා. ආර්. ප්‍රේමදාස මහතා ගේ මරණින් පසුව එම පවුලේ උදවිය මේ “බෝර්න් අගේන්” කියන කණ්ඩායම සමග සබඳකම් පැවැත්වුවා.

ඒ වගේ පිරිසක් මේ ආකාරයෙන් පක්ෂයක නායකත්වය වෙනස් කරන විරෝධතා වල පිටිපස්සේ ඉඳගෙන කරන්නේ මොකද්ද කියන එක සොයන්න අවශ්‍යයි. එහෙම පිරිසක් කරු ජයසූරියව පාවිච්චි කරලා එජාපයේ සිරසට පහර එල්ල කර එය විනාස කරන්න ද උත්සාහ කරන්නේ ? කරූ ජයසූරිය මහතාව පාවිච්චි කරලා නායකත්වය අරගෙන ඊට පස්සෙ ඔහුව පැත්තකර විසි කිරීම සැලැස්මක් වෙන්නත් හැකියි. බෞද්ධ නොවුනත් තමන් සිංහල බෞද්ධ බව පෙන්වන්න තමයි සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ සමාජ සේවා කටයුතු සිදු කරන්නේ.

අනෙක් අතර මේ හැමදේටම සිරස නාලිකාව මේ තරම් අනුබලයක් දෙන්නේ ඇයි ? අපි හැමෝම දන්නවා සිරස කියන්නේ අපේ සංස්කෘතියට, සදාචාරයට කිසිම දිනක යහපතක් කල චැනල් එකක් නොවෙයි. සංස්කෘතිය, සදාචාරය වනසන්න බොහොම දේවල් කලා සිරස. ඉතින් ඒ වගෙ පිරිසක් ඒකරාශි වෙලා දැන් මේ හදන්නේ සිංහල බෞද්ධකමක් සජිත් ප්‍රේමදාස මහතාට පින්තාරු කරන්න.
බලන්න සිරස යොදාගෙන තිබෙන අළුත්ම පාඨය ..
ගමයි පන්සලයි කියන්නේ අපේ අනන්‍යතාවය, ඒත් දැන් සිරස යොදාගන්නේ “ගමයි පන්සලයි සිරස රේඩියෝවයි” කියන පාඨය. ඒකෙන් සූක්ෂම විදියට සිංහල බෞද්ධකම ආක්‍රමණය කරන්නයි උත්සාහ කරන්නේ.. දයාසිරි, එරාන් වික්‍රමරත්න, රන්ජන් රාමනායක යන අයත් මේ ආගම් වෙනස් කරගත් සහ වෙනස් කරවන කණ්ඩායම් වලට සම්බන්ධයි. ඉතින් ඒ වගෙ පිරිසක් මේ නායකත්ව වෙනසක් ඉල්ලගෙන යන විරෝධතා පස්සේ ඉඳලා මොකද කරන්නේ කියන මේ හැම දෙයක්ම ප්‍රශ්නයක්”

 
 

– සිංහලයා පුවත්

 
 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *