නායකත්ව පුහුණුවට බිය විය යුතු ද ?


“සරසවි සිසුන් වෙනුවෙන් නායකත්ව පුහුණුව” සරසවි වරම් ලැබූ සිසුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් අළුතින්ම හඳුන්වා දුන් පුහුණු වැඩසටහනක් වන අතර, වර්තමාන සමාජයේ බොහෝ කතාබහට, විවේචනයට ලක්වුනු මාතෘකාවක්. මේ සඳහා ඇති වූ පක්ෂ, විපක්ෂ මතවාද බොහොමයක් මධ්‍යයේ වැඩසටහන ක්‍රියාවට නැංවුනු අතර මේ වනවිට මෙම නායකත්ව සහ පෞරුෂ වර්ධන පුහුණු වැඩසටහනේ අදියර දෙකක් නිමයි.

මේ නායකත්ව පුහුණු වැඩසටහනේ දෙවන අදියර හැදෑරූ සිසු සිසුවියන් පිරිස විසිර යාමේ නිමිත්තෙන් රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා මූලස්ථානයේ දී පසුගිය දා පැවැත්වුනු උත්සවයට අප මාධ්‍ය සහෘදයින්ටත් සහභාගි වීමට ලැබුනා. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී ජයසුන්දර මහතායි.

එහිදී අප සිංහලයා පුවත් ඒජන්සියේ මාධ්‍යවේදී වරුණ කොඩිකාර ට නායකත්ව පුහුණුව නිමකල සිසු සිසුවියන් මෙන්ම, ඔවුන්ගේ දෙමාපියන් සමග ද අදහස් හුවමාරු කරගන්නට අවස්ථාව ලැබී තිබුනා.
මේ පුහුණු පාඨමාලාව සඳහා සහභාගි වූ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 982 වන අතර එයින් 958 දෙනෙක් ම දෙමළ සහ මුස්ලිම් ජාතික සිසු සිසුවියන් වීම විශේෂත්වයක් බවයි ඔහු අපට දැන්වූයේ. කණ්ඩායම් ක්‍රියාකාරකම්, ප්‍රයාණ ක්‍රියාකාරකම් වලින් මෙන්ම, නායකත්ව, පෞරුෂ වර්ධන වැඩසටහන් මගින්, සිය සැඟවුනු දක්ෂතා මතු කරගන්නටත්, සාමූහිකත්වය සහ සමානත්වය වර්ධනය කරගන්නටත් තමන්ට හැකිවූ බව වැඩසටහනට සහභාගී වූ සිසුන්ගේ පොදු අදහස වී තිබුනා.

එසේම මෙවැනි වැඩසටහන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරන්නටත්, හැකිනම් පුහුණු පාඨමාලා කාලය තව සතියකින් හෝ දීර්ඝ කරන්නටත් ඔවුන් යෝජනා ද ඉදිරිපත් කොට තිබුනා.

“ඇත්තෙන්ම මුලදි මේ වැඩසටහන ගැන මට කිසිම පැහැදීමක් තිබුනේ නැහැ. නමුත් දැන් මම සතුටු වෙනවා මෙවැනි අවස්ථාවක්, ජීවිතයේ එක්වරක් පමණක් ලැබිය හැකි අවස්ථාවක් මටත් ලැබීම පිළිබඳව. මම මෙහිදී සහභාගී වූ ක්‍රියාකාරමක් තුලින් මම මගේ පෞරුෂය, දරාගැනීම හැකියාව වගේම නායකත්ව පුහුණුවකුත් ලැබුවා. දැන් මට හොඳටම විශ්වාසයි මේ පුහුණුවෙන් ලැබූ පන්නරය තුලින් ලොව කොහේ ගියත් මට මගේම අනන්‍යතාවක් ගොඩනගා ගෙන ජීවත් වන්නට හැකි බව. ඇත්තෙන්ම අපි අද වෙන්ව යන්නේ බොහෝ දුකින්. මෙම පුහුණුව සංවිධානය කල සියළු දෙනාට මගේ ස්තුතිය මේ අවස්ථාවේ පුදකරන්නට කැමතියි.” ඒ පුහුණුවට එක්වූ සහානා අසීම්. ඇය ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේයි ඉගෙනුම ලබන්නේ.

“මෙය ගොඩක් හොඳ පුහුණුවක්. රටේ අනාගතයට අවශ්‍ය දේ මෙම පුහුණුවෙන් දරුවන්ට ලැබී තිබෙනවා. දෙපාපියන් හැටියට අපේ අදහස කුමන ආණ්ඩුවක් බලයට පැමිණියත් මෙවැනි පුහුණු වැඩසටහන් ළමයින් වෙනුවෙන් පවත්වන්නට බලධාරීන් වගබලා ගතයුතු බව.” මෙසේ අදහස් දැක්වූයේ මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වූ රවින්ද්‍රා මහතා. ඔහුගේ දියණිය රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා මූලස්ථානයේ නායකත්ව පුහුණුවට සහභාගි වී තිබුණා.

මේ අප සිංහලයා පුවත් ඒජන්සියේ මාධ්‍ය සහෘදයා විසින් අප වෙත ලබාදුන් එම උත්සවයේ විශේෂ අවස්ථා සහිත ඡායාරූප සහ සිසු සිසුවියන්ගේ හඬ පට වලින් සංස්කරණය කල කොටස්…

 

 

පසු සටහන:

වසර 13ක පාසැල් අධ්‍යාපනය නිම කර විශ්ව විද්‍යාල වරම් ලබන්නේ සංඛ්‍යාත්මක අතින් ගත් කල ඉතාමත් සුළුතරයක්. නමුත් ඔවුන් අති දක්ෂයින්. බංකොලොත් දේශපාලනයේ අතකොළු බවට පත් වෙමින් තාප්ප වල පෝස්ටර් අලවන්නටත්, දේසපාලුවන්ට “ගොට්ට” අල්ලන්නටත් යනවා වෙනුවට, නිදහසේ හිතන්නට පතන්නට හුරුවී තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නට උදව් දෙන මේ නායකත්ව පුහුණු වැඩමුළුව රටේ අවශ්‍යතාවයක් බවයි සිංහලයා අපේ හැඟීම.

මේ වැඩසටහනට ශක්තියක් වෙමින්, සෑම කටයුත්තක්ම මනාව සංවිධානය කොට තිබූ යුද හමුදාවේ සෑම නිලයකටම අපගේ ගෞරවය සහ ස්තූතිය හිමිවිය යුතු අතර, විශේෂයෙන් වැඩසටහන සම්බන්ධීකරණය කල ජාතික ශිෂ්‍යභට බලකායේ කපිතාන් කපිල ගංගා මහතාට විශේෂ ස්තුතියක් හිමිවිය යුතුයි.div>

 

– සිංහලයා පුවත්

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *