අපේ ජාතික ගීය කෙලෙසන්නෝ කවුරුන්ද ?

 

ලොව ඕනෑම රටකට ජාතික ගීයක් ඇත. ජාතික ගීයෙන් එම රටේ, එම ජාතියේ අභිමානය ප‍්‍රකාශ කරයි. එසේම එම දේශයේ වැසියන් තම දේශයට ඇති භක්තිය ප‍්‍රකාශ කරන්නේද එමෙන්ම මව්බිමට තම ප‍්‍රණාමය පුද කරන්නේ ද ජාතික ගීයෙනි.

එකම දේශයක විවිධ ජාතීන් සම්මිශ‍්‍රණව ජීවත් වුවත් ඒ සැමටම ඇත්තේ එකම ජාතික ගීයකි. ඒ අනුව අප මව්බිමේ ද විවිධ ජාතීන් ජීවත් වුවත් අප සැමටම ඇත්තේ එකම ජාතික ගීයකි. එබැවින් ජාතික ගීයට ජාති භේදයක් නැත. එකම මව්බිමක වාසය කරන සියළු ජාතීන්ගේ සාමයේ හා සමගියේ උදාව ද එයින් සංකේතවත් කරයි.යම් දේශයක ජීවත්වන විවිධ ජාතීන් අනුව එම දේශයේ ජාතික ගීය විවිධාංගීකරණය කිරීමට උත්සාහ දරන්නේ නම් එය එම රටේ පාලකයන්ගේ නොදැනුවත්කම විදහා දක්වන්නකි. නොඑසේ නම් ඔවුන් බටහිර ගෝලීයකරණය වැලඳ ගැනීමේ අනිෂ්ඨ විපාකයකි. එය එම දේශයේ සාමය හා සමගිය භින්න වීමේ ප‍්‍රධාන සාධකයක් වනු නොඅනුමානය. එසේම එම දේශයේ ඒකීය භාවයට ද තර්ජනයකි.

අපි කුඩා කළ පාසැලේදී ජාතික ගීය ඉගෙන ගන්නා විට අපට එහි අරුත පිළිබඳ වැඩි අවබෝධයක් නොතිබුනත් අපේ ගුරුවරුන් මෙන්ම වැඩිහිටි සිසුන් ද අනුගමනය කරමින් ඉතා සීරුවෙන් සිටිමින් එය ගායනා කළේ අනුකරණයෙනි. එහෙත් ක‍්‍රම ක‍්‍රමයෙන් ජාතික ගීය පිළිබඳ අවබෝධය වඩා වර්ධනය වීමත් සමග අප හද තුල ජනිත වූයේ අප මව්බිම පිළිබඳ භක්ති පූර්වක අභිමානයකි. එය දිවි ඇති තෙක් අප හද තුල රඳා පවතී.

පාසලෙන් ඉගෙන ගත් අපේ ජාතික ගීය සර්වෝදය ව්‍යාපාරයේ වැඩමුළු, ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථාන වැඩසටහන් හා සම්මන්ත‍්‍රණ, යෞවන සමාජ ක‍්‍රියාකාරකම්, ආදී සැම තැනකදීම අප ගායනා කළේ ඉතා සීරුවෙන් සිට එකම රිද්මයකට අනුව, අප මව්බිම පිළිබඳ වූ භක්ති පූර්වක අභිමානයෙනි. එපමණක් නොව තරුණ තරුණියන්ගේ සමූහ ගොවිපල වලදී මෙන්ම ජාතික සේවා ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී ද උදේට මෙන්ම හවසට ද ජාතික ගීය ගායනා කරන ලද්දේ ද ඉහත සඳහන් කළ ආකාරයටමය.

එසේම ත‍්‍රිවිධ හමුදාවේ පොලීසියේ මෙන්ම විවිධ රාජ්‍ය හා පෞද්ගලික උත්සව වලදී ද ජාතික ගීය ගායනා කරනු ලබන්නේ එම අභිමානවත් ගරු ගාම්භීර වූ ආකාරයෙනි. එය අපේ අනාගත පරපුරට ද අති උදාර ආදර්ශයකි.

අපේ ජාතික ගීයට අමතරව අපේ මව්බිම පිළිබඳව විවිධ වූ විශාරද ගායක ගායිකාවන් විසින් ගායනා කරනු ලබන දේශාභිමානී ගීත රාශියක් අපට උරුම වී ඇත. අප එම ගීත වලට ද දක්වන්නේ භක්ත්‍යාදර ගෞරවයකි. අපි එම ගී පද කිසි දිනක බයිලා රිද්මයට ගයන්නේ නැත. ඒ එම ගීත වල අභිමානය ආරක්‍ෂා කළ යුතු නිසාය.

අපේ ජාතික ගීයට එරෙහිව මුලින්ම වෙනත් ගීතයක් නිර්මාණය කළේ මිනීමරු කොටි ත‍්‍රස්තවාදීන් විසිනි. ඒ ඔවුන්ගේ සිහිනය වූ ඊළාම් දේශයේ ගීතයයි. ඔවුන් අපේ ජාතික ගීය පමණක් නොව අපේ ඉතිහාසය ද විකෘති කළේය.

ඒ ඔවුන් අපේක්‍ෂා කළ ඊළාම් දේශය අපේ මව්බිම තුල පිහිටු වීමට හැකිවන ආකාරයට අපේ ඉතිහාසය වෙනස් කර එය මුද‍්‍රණය කරවා බටහිරයන්ට ඉදිරිපත් කළේ ද කොටි ත‍්‍රස්තයන්ගේ එම අභිමතාර්ථය මුදුන් පමුණුවා ගැනීමේ සාක්‍ෂීයක් වශයෙනි.

අපේ ජාතික ගීය හෑල්ලුවට ලක් කිරීමක් පිළිබඳව මේ දිනවල මහජන අප‍්‍රසාදය නැගෙමින් පවතී. ඒ පසුගිය 12 වෙනි ඉරුදින සිරිකොත දී පවත්වන ලද එක්සත් ජාතික පක්‍ෂයේ සම්මේලනය අවසානයේ ශබ්ද වාහිනී මගින් අපේ ජාතික ගීය ගායනා කරද්දී එයට සහභාගී වූ පිරිස කිසිදු ගරු සරුවකින් තොරව බයිලා රිද්මයට විනෝද වීමයි. (මෙයින් අප මහජනතාවට විනෝදය ගෙන දෙන එක්තරා මාධයයක් වන බයිලාව හෙලා දැකීමට උත්සාහ නොකරමු ) රූපවාහිනී නාලිකා තුලින් එම රූප රාමු දුටු අපට සිතුනේ කවදා හෝ මේ මිනිස්සුන්ට රට ගියොත් අපේ රටට කුමකින් කුමක් වේද කියාය. ඒ ගැන කුමන කතාද ? එරික් සෝල්හයිම් ඇතුළු බටහිර නඩයට අනුව මිනීමරු කොටියාට ගිවිසුමකින් අපේ මව්බිමෙන් කොටසක් පවා දුන් එසේම ත‍්‍රස්තයන්ට එරෙහි මානුෂික මෙහෙයුමේ දී දිවි පරදුවට තබා සටන් කළ රණවිරුවන් හෑල්ලුවට ලක් කළ මිනිසුන්ට මොන ජාතික හැඟීමක්ද? මොන දේශීය අනුරාගයක්ද ?

දේශ හිතෛෂී මහජනතාව මේ පිළිබඳව වරක් දෙවරක් නොව අනේක වාරයක් සිතා බැලිය යුතුය. එසේම ශ‍්‍රී ලංකාවේ විනය ගරුක සාමකාමී සරල සමාජයක් ස්ථාපිත කිරීමට අපේක්‍ෂා කරන ගරු ජනාධිපතිතුමා ප‍්‍රමුඛ සියළු දෙනා මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බව අවධාරණයෙන් සඳහන් කළ යුතුය.

1940 දී අප ජාතික ගීය රචනා කළ එසේම එය සංගීතවත් කළ ආනන්ද සමරකෝන් ශූරීන් සහ එදා ඩී.එස්. සේනානායක අගමැතිවරයාගේ නියමය පරිදි ජාතික ගී තේරීම් කමිටුවේ සභාපති ලෙස ක‍්‍රියා කළ එවකට නිවාස හා ග‍්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය තනතුර දැරූ සර් එඩ්වින් විජේරත්න මහතා සහ තේරීම් කමිටු සාමාජිකයන් ද මෙම අප‍්‍රසන්න රූප රාමු දුටුවේ නම් මේ විකාර කාරයන්ට ශාප කරනු නොඅනුමානය.

අහෝ ! බුද්ධිමත් උගත් වගකිව යුත්තනි මව්බිම ආරක්‍ෂාකර ගනිත්වා.

 

– සිංහලයා පුවත්


Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *