“ශ්‍රී ලංකාවේ තිබුනේ ත්‍රස්තවාදයට එරෙහි සටනක් මිස සිවිල් යුද්ධයක් නොවෙයි”

පසුගිය දා කැනඩාව වෙත ළඟා වූ “සන් සී” නෞකාවේ සිටින පිරිසට එරට විසින් රැකවරණ ලබාදිය යුතු යැයි ද, යලිත් ඔවුන් ශ්‍රී ලංකාවට යැවීම මගින් ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්විය හැකි යැයි ද පවසමින් “ඇම්නෙස්ටි” සංවිධානයේ ජේම්ස් මැක්ඩොනල්ඩ් නැමැත්තෙක් විසින් කර ඇති ප්‍රකාශය අසත්‍ය තොරතුරු මත පදනම්ව ශ්‍රී ලංකාව පිළිබඳව වැරදි චිත්‍රයක් අන්තර්ජාතිකව මවාපාන්නක් බව, ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

 

“මැක්ඩොනල්ඩ් මහතා මෙහිදී ශ්‍රී ලංකාවට එල්ල කරන සියළු චෝදනා අසත්‍යයි. ඔහු පවසන පරිදි ශ්‍රී ලංකාවේ තිබුනේ සිවිල් යුද්ධයක් නොවෙයි. නමුත් බටහිර රටවල් විසින් තම වාසියට මේ “සිවිල් යුද්ධය” යන පාඨය යොදා ගත්තා. ශ්‍රී ලංකාවේ කොටසක් බලහත්කාරයෙන් අල්ලාගෙන, තමන්ට එරෙහි වන සෑම පුද්ගලයෙක්ම ම්ලේච්ඡ ලෙස ඝාතනය කල කොටි ත්‍රස්තවාදයට එරෙහිවයි ශ්‍රී ලංකාව සටන් කලේ.

 

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහි සිය මානුෂීය මෙහෙයුම තුලදී මානව හිමිකම් උල්ලංඝනය සහ යුධ අපරාධ සිදුකල බවට නගන චෝදනාවද පදනම් විරහිතයි. කොටි ත්‍රස්තවාදීන් විසින් මිනිස් පලිහක් ලෙස යොදාගන්නට යෙදුනු ලක්ෂ 3කට අධික ජනතාවක් බේරාගත්තේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳව මනා පුහුණුවක් ලත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින්.

එසේම, අදාල සන් සී නෞකාවෙන් පැමිණි පිරිස නැවත සිය රට යැවීම අනතුරුදායක යැයි මැක්ඩොනල්ඩ් මහතා එල්ල කරන චෝදනාව ද පිලිගත නොහැකියි. ත්‍රස්තවාදයෙන් බලපෑමට ලක්ව අවතැන්වූ දමිළ ඇතුළු සියළු ශ්‍රී ලාංකීය ජනතවගේ සුභසාධනය සම්බන්ධයෙන් රජය ක්‍රියා කිරීම, අවතැන් වූ දමිළ ජනතාවගෙන් බොහෝ පිරිසක් නැවත පදිංචි කිරීම වැනි කරුණු ඔහු මෙහිදී සැලකිල්ලට නොගෙන කිසිදු පදනමකින් හෝ කරුණු සොයා බැලීමකින් තොරව තම අභිමතය පරිදි ප්‍රකාශයන් නිකුත් කර ඇති බව පැවසිය යුතුයි.” වික්‍රමසූරිය මහතා ගේ නිවේදනයේ සඳහන්.

පසුගිය දිනක කැනඩාවේ සරණාගත රැකවරණ පතා “ශ්‍රී ලාංකික දමිළ ජනතාව” යැයි පවසමින් සන් සී නෞකාවෙන් පැමිණි පුද්ගලයින් සැබවින්ම නැසීගිය එල්.ටී.ටී.ඊ. සංවිධානයට සබඳකම් සහිත පුද්ගලයින් බවට දැන් හෙළිවෙමින් පවතින අතර, කොටි හිතවාදී නොයෙකුත් ඊනියා මානව හිමිකම් සංවිධාන විසින් මේ ජනතාව වෙත ජාත්‍යන්තර අනුකම්පාව හීඟා කෑමේ අසාර්ථක උත්සාහයක නිරත වනවා.

 

– සිංහලයා පුවත්


Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *