එජාප අර්බුදය සහ තිරෙන් පිටුපස රහස් මෙන්න..

දශක කිහිපයක් තිස්සේ මෙරට වැඩිම ස්ථිර ජන පදනමක් සහිත වූ දැවැන්ත පක්ෂය ලෙසින් කිරිළු පැලඳ සිටි එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන භූමිකාව සහ පක්ෂය තුල හටගෙන තිබෙණ බල අරගලයෙහි දොංකාරය මේ වනවිට දිනෙන් දින ම උණුසුම් වෙමින් පවතින බව නොරහසකි.

 

 

 

 

1946 සැප්තැම්බර් 6 වෙනිදාවක, කොලඹ ඇල්බට් චන්ද්‍රවංකයේ “පාල්ම් කෝට්” නම් ස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂය බිහි වූයේ ඩී.ඇස්.සේනානායක ශ්‍රීමතාණන්ගේ මහා නායකත්වය යටතේ ය. එසේ ඇරඹි එක්සත් ජාතික පක්ෂය ඩඩ්ලි සේනානායක, සර්.ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග වැනි මහා පුරුෂයින්ගේ ප්‍රබල නායකත්වයන් යටතේ 1994 දක්වා ම ශ්‍රී ලංකාවේ දැවැන්ත ම තනි පක්ෂය ලෙසින් තව තවත් ශක්තිමත් විය.

එවන් ආකාරයට මෙරට ජන සමාජයේ ඉතා ඉහළ වටිනාකමක් සහිත ව ගොඩනැගුණු එක්සත් ජාතික පක්ෂයේ මූලික ම “අඩිතාලම හෝ පදනම” වූයේ, ග්‍රාමීය-නාගරික බෞද්ධ ජනතාව යි. එසේම එවකට එක්සත් ජාතික පක්ෂය මෙහෙයවූවන් විසින් “සිය පක්ෂයේ බෞද්ධ ජන පදනම” යන කරුණ සැමවිට ම විශේෂ කොට ගත් හ. ඒත් සමගම සෙසු ජාතීන් ද සමබරව මෙන්ම මනාව තම පක්ෂය තුල නියෝජනය වන ආකාරයට එජාප නායකයෝ කතු කල හ. එහෙත් පෙර කී “බෞද්ධ ජන පදනම”ට කිසි ලෙසකින් හෝ හානියක් නොවීමට වගබලාගත් අතර පක්ෂයේ අනෙක් ප්‍රධාන ම සටන් පාඨය හෝ ධර්මය වූයේ, සමාජයේ දුප්පත්ම වැසියා නගා සිටුවීමත්, ඔහුට තුන් වේල කන්නට දීමත් යන කරණාව ය. ( මේ කාරණය වූ කලී මෑතක සිට එජාපය තුල ක්‍රියාත්මක වූ “රටට හෙණ ගැහුවත් බඩ” යන ආකල්පය නම් නොවේ… )

එවන් ශ්‍රේෂ්ඨ මෙන්ම ශක්තිමත් අයුරින් ගොඩනැගුණු එජාපය 1994 දක්වා ම මෙරට දේශපාලනයට එල්ල කල ධනාත්මක සහ සෘණාත්මක බලපෑම ද සුළුපටු නොවේ,.

එසේවුවත්,
වර්තමානය වනවිට එම දැවැන්ත පක්ෂය වැටී ඇති තත්වය පිලිබඳ ව නිරීක්ෂණය කිරීමේ දී විශේෂයෙන් ම එ සඳහා පහත කරුණු හේතුභූත වූවා යැයි පැවසුවොත් ඒ අතිශෝක්තියක් නොවේ.

 

1. වගකිව යුතු අවස්ථාවන් හි වැරදි තීන්දු ගනිමින් ප්‍රතිවාදී පක්ෂ වෙත සටන් පාඨ සකසා දීමත් ඔවුන් ජනතාව අතර ශක්තිමත් කිරීමට අනුබල දීම..

දශක තුනක් තිස්සේ විනාශකාරී ලෙස ඇදි ඇදී තිබුණු ත්‍රස්තවාදී උවදුර විනාශ කිරීමට 1994 සිට 2009 වනතුරුම පොදු පෙරමුණු රජයන් සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සන්ධාන රජයන් ගත් සියළු ක්‍රියාමාර්ග වල දී එක්සත් ජාතික පක්ෂයේ මතවාදය බොහෝවිට සෘණාත්මක විය. මුලතිව්, අලිමංකඩ වැනි දැවැන්ත හමුදා කඳවුරු ඇද වැටෙද්දී මෙරට ඇතැම් එජාප නායකයින් කොලඹ විදේශ තානාපතිවරුන් සමග ෂැම්පේන් පානය කල හ.. තම මව්බිමේ සොල්දාදුවන් දහස් ගණණින් මැරී වැටීමෙන් උපදින මහා ශෝකය පරයා ආණ්ඩුවට එරෙහිව යොදා ගත හැකි අළුත් සටන් පාඨයක් ලැබීමෙන් අළුත් ආණ්ඩුවක් පිහිටුවීමේ සිහින වලින් ඔවුහු කුල්මත් ව ගිය හ..

විශේෂයෙන් ම, 2007, 2008 සහ 2009 වර්ෂයන් හි වඩාත් උච්ඡතම අවස්ථාවන් වලට පැමිණි “ත්‍රස්තවාදයට එරෙහි වූ යුද්ධයට” සම්බන්ධ ඇතැම් වැදගත් අවස්ථාවන් වලදී මෙරට ප්‍රධානත ම දේශපාලන පක්ෂයකට තරම් නොවන අයුරින් ගත් බහුතරයක් තීරණ තීන්දු හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජන පදනම පහල සිට ඉහළට දෙදරා යාමට හේතු වී තිබිණි. මෙරට වීරෝධාර සෙබළුන් විසින් තොප්පිගල මහ වනය පීරමින් ගොස් නැගෙනහිර ත්‍රස්ත බලය බිඳ දැමූ කල් හි, “තොප්පිගල යනු කැලයක් පමණෙකැ”යි යනුවෙන් එම හමුදා විජයග්‍රහණය සමච්චලයට ලක් කල අතර 2008/2009 වකවානුවේ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් හි වීර සෙබළුන් විසින් වන්නි මෙහෙයුමේ තීරණාත්මක සංධිස්ථානයන් සනිටුහන් කරද්දී, එජාප නායකයෝ කිව්වේ, අලිමංකඩ යනවා ය කියා පාමංකඩ යනවා කියා ය.. කිළිනොච්චි කියා මැදවච්චි යනවා ය කියා ය.. රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවේ දී එසේ කියද්දී සෙසු එජාප ක්‍රියාකාරීහු සිය මේස වලට ගසා කාළකණ්නි සතුටක් විඳිනා අයුරු ජනතාව එදා රූපවාහිනියෙන් නැරඹුවේ දැඩි පිළිකුළෙන් සහ සංවේගයෙනි.

ත්‍රස්තවාදීන් විසින් රටපුරා බෝම්බ බිය පතුරවද්දී, ත්‍රස්තයින්ට නොබැණ “ආණ්ඩුව මේ රට ලේ විලක් කරලා…” යි කිව්වෙත්, “යුද්ද කොරන්ඩ ඕන ගොනෙකුට පුළුවනැ”යි කිව්වේත් ලක්ෂ්මන් කිරිඇල්ල ය.. ගොරකයින් රොත්තක් විසින් රටේ සෙසු ජනතාව ද ගොරකයින් යැයි සිතා කරනා මෙවන් “සහ ගහන කතා” මෙරට ජනතාව අසා සිටියේ හිරිකිතයෙනි.
මේවා ගැන ලිවූ අපිට “ජාතිකවාදී යුදවාදීන්” යැයි ලේබල් ගසා අවමානයට ලක් කලත් එදා අප දැරූ මතවාදය අද සනාථ වී තිබේ.

එතෙක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත ම ජන ප්‍රවාහය වී තිබූ “බෞද්ධ ජන පදනම” එජාපයෙන් විතැන් වී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වෙත ඇදෙන්නේ මෙවන් තත්වයකට එජාප දේශපාලනය පත් වීම නිසා ය. එය වූ කලී මහින්දගේ හැකියාව ඉක්මවා එජාපයේ අදූරදර්ශී පිලිවෙත් නැගී සිටීමක් නිසා වූවකි.

වගකිව යුතු විපක්ෂයක් ලෙස එවකට පැවති ත්‍රස්තවාදයට එරෙහි යුදමය කටයුතු වලදී ආරක්ෂක හමුදාවන් සහ රජය සමග සහයෝගයෙන් කටයුතු කල යුතු එවන් “ස්වර්ණමය අවස්ථාවන්” නොතකා,
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්, ඔවුන්ගේ නියෝජිතයින්, කොළඹ විදෙස් තානාපති නිලධාරීන්, වර්ගවාදීන් සහ සුපිරි ව්‍යාපාරිකයින් ගේ හඬ වෙනුවෙන් පෙනී සිටීමට පමණක් මෙරට විශාලතම වූත්, ශ්‍රේෂ්ඨත ම පක්ෂයක් වූත් එජාපය පත් ව තිබිණි.

මෙරට සාමාන්‍ය වැසියාගේ සිත් සතන් නොහඳුනා, මෙවන් ශ්‍රේෂ්ඨ භූමියක පය තබා නොසිටි එජාප ක්‍රමවේද සියල්ලම පාහේ විශ්වාසය පල කලේ, ගැමිකමට, දේශීයත්වයට හෝ අනන්‍යතාවයට නොව විදේශ තානාපතිවරු ය. ඊනියා බෙදුම්වාදී පක්ෂ නියෝජිතයෝ ය.. එසේත් නැතහොත් කොලඹ සුපිරි ව්‍යාපාරික ජාලය ය… පොදු ජන විඥාණයට වඩා සුද්දාත්, සුද්දාගේ අවජාතකයාත් විශ්වාස කිරීමේ ප්‍රතිඵලය එක්සත් ජාතික පක්ෂය විසින් අද අත් විඳිමින් සිටියි. එජාපය විසින් ගොඩ නැගූ ප්‍රබල නායකයන් රැසක් අද එජාපය විසින් ම අහිමි කරගෙන තිබේ. පක්ෂය්ට අනවශ්‍ය මෙන්ම හානිදායක පිරිස් පමණක් ලං කරගෙන තිබේ.

එතැනිණුදු නොනැවතී සමාජයේ දුප්පතාට තුන් වේල කන්නට දීමේ එජාපයේ මහඟු සංකල්පය ඉදිරියේ තබාගෙන, “යුද්ද කර දිනමින් යන ආණ්ඩුවේ ජනප්‍රියතාවය, ජනතාවගේ බඩගින්න හුවා දක්වා යුද්දය පරාජය කිරීමේ බඩගෝස්තරවාදීත්වයක් වෙත රැගෙන යාමට කටයුතු කල හ. එහෙත් මෙරට බහුතර බුද්ධිමත් ජනතාව මෙරට ආරක්ෂක හමුදාවන් සමග සිටියහ. එනිසාම මහින්ද ප්‍රමුඛ සන්ධාන රජයට වඩාත් ශක්තිමත් වීමට එක්සත් ජාතික පක්ෂය විසින් ම ඉඩ හසර සලසා දීමක් ද විය.

 

2. සුදුස්සෝ නොසලකා හැරීමත්, නුසුදුස්සෝ පක්ෂයේ උසස් තැන් හි පිහිටුවීමෙන් පක්ෂයේ නායකත්වය සහ දෙවනපෙළ නායකත්වයේ විශ්වසනීයබව නැති වීම.

එජාපයෙන් බිහි වූ ජේ ආර්, ප්‍රේමදාස වැනි ජනතා නායකත්වයේ පරමාදර්ශී ඉතිහාසයක් හිමි එජාප බල ධූරාවලියේ ඉහල සිට පහලට පුද්ගල සාධක තෝරා ගැනීම මෙන්, එජාපය දිනෙන් දින අවුලෙන් අවුලට ලක් කල තවත් සාධකයන් නැති තරම් ය.

ගාමිණී අතුකෝරාල, විජේපාල මෙන්ඩිස්, කරූ ජයසූරිය, අලික් අළුවිහාරේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න, රුක්මන් සේනානායක, සජිත් ප්‍රේමදාස වැන්නවුන්ගේ සිට එජාපයේ දිස්ත්‍රික් නායකත්වයන් සඳහා වඩාත් සුදුසු වූ ප්‍රබල එජාප ක්‍රියාකාරීන් නොසලකා හැරෙද්දී, අකිල විරාජ්, සාගල රත්නායක, රන්ජන් රාමනායක, රෝසි සේනානායක, සුජීව සේනසිංහ සහ තිස්ස අත්තනායක වැන්නෝ කෙරෙහි පක්ෂ නායකත්වය විසින් වැඩි විශ්වාසයක් තබයි.

එජාපයේ මහලේකම් වශයෙන් තිස්ස අත්තනායක අදටත්, මෙරට ජනතාව විසින් “මූ කියන ඒවා කව්ද ගණන් ගන්නේ?” යි පවසන තත්වයට පත් ව තිබේ..

මේ අතර රෝසි සේනානායක විසින්, “සිංහල බෞද්ධ පදනම” නැති කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කරයි.. ඉන් නොනැවතී සිංහයා දියෙන් කිරි වෙන් කරගන්නා අයුරු ද කියයි..

රන්ජන් රාමනායක කියන්නේ තමන් ද පක්ෂ නායකත්වයට සුදුසු බව යි.. ඕනෑම ජන සමාජයක් තුල නිතැතින් ම “පාවෙමින් තිබෙන” සුළුතර නූගත් ඡන්ද ප්‍රමාණයක බල මහිමයෙන් “දේශපාලනික ව කෘතිම බෞතීස්මයක් ලද” අයෙක් මෙසේ අධිතක්සේරුගත ව අද සිය නායකත්වයට පවා අභියෝග කරමින් සිටීම එජාපය වන් මෙරට ශ්‍රේෂ්ඨ පක්ෂයකට තරම් නොවන බව අපගේ හැඟීම යි.

එමෙන් ම පක්ෂය හැර යන්නවුන් නැවත පක්ෂයට ඈඳාගැනීමේ ක්‍රමවේදය ද බොහෝදුරට අසාර්ථක වී තිබිණි. හොඳ ම උදාහරණය නම් 16 දෙනෙක් එක්ක රජයට එක් වූ කරූ ජයසූරිය මහතා යළි එජාපයට එන්නේ තනිවම වීම ය.. පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය නමින් බල රහිත වූ ගැටයකට කරූ ජයසූරිය මහතා වන් අයෙක් හසු වූයේ එලෙස ය.

ඉහත දැක් වූ ප්‍රධාන කාරණාත්, නොදක් වූ සෙසු කාරණාත් හේතුවෙන් අද එක්සත් ජාතික පක්ෂය තීරණාත්මක තැනකට විත් තිබේ. ප්‍රශ්ණය එය නොවේ..

මෙතෙක් මේ තීරණාත්මක බව කල් යල් බලා සිටි තවත් බලවේගයක් පක්ෂය තුල ක්‍රියාත්මක වෙමින් තිබිණි.. “කැපුවත් කොළ” යන සුප්‍රකට එජාප ලේබලය සියතින් ගසාගත්තවුන් විසින් එජාප නායකත්වය වරින් වර නොමග යවමින් පක්ෂයේ වැදගත් තනතුරු වලට පත් වීම ඇරඹෙන්නේ අවසන් වසර දහයක පමණ කාලයක සිට ය.. මේ පිරිස වෙනින් කවුරුවත් නොවේ.. බටහිර රටවල රජයන් සහ සංවිධාන මගින් නිරතුරු “යැපුම් අරමුදල්” ලබන “ඉවැන්ජලික” කණ්ඩායම් වේ.. මෙහි නායකත්වය උසුලන්නේ රෝසි සේනානායක නැමැත්තිය යි.. එනම් හිටපු නිළිය යි..

කොළඹ සුපිරි ජන සමාජයට අයත් දේශපාලන පවුල් වල අයවළුන් තමන්ගේ ඉවැන්ජලික අරමුණු කෙරෙහි නම්මා ගෙන, තමන්ට අවශ්‍ය අයුරින් “පරිවර්තනය” කිරීමත්, පක්ෂ තනතුරු තුල සිය පිරිස් ව්‍යාප්ත කිරීමත් රෝසි සේනානායක විසින් සිදු කරගෙන වේගයෙනි.

ඒ ආකාරයට සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, දයාසිරි ජයසේකර, රන්ජන් රාමනායක, ජයලත් ජයවර්ධන, සුජීව සේනසිංහ, ජෝන් අමරතුංග වැනි ප්‍රබල ක්‍රියාකාරීන් ද රෝසි සේනනායකගේ ඉහත “පරිවර්තනයන්” ට ගොදුරු ව ඇති අතර නව පාර්ලිමේන්තුව සඳහා එජාප ජාතික ලැයිස්තුවෙන් පත් කර සිටින ටෙරාන් වික්‍රමරත්න ද බොදු විරෝධී ඉවැන්ජලික ව්‍යාපාරයේ ප්‍රධාන චරිතයක් වේ. මේ සියළු දෙනා දැන හෝ නොදැන වැඩ කරමින් සිටින්නේ එකම “මාස්ටර් ප්ලෑන්” එකක් අනුව ය. එපමණකදු නොව පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගම්පහට පත් වී ආ උපෙක්ෂා ස්වර්ණමාලි හෙවත් “පබා” ද මෙම සැලසුමට ගොදුරු වී ඇති අතර ඇයට දේශපාලන අත්පොත ස්වේච්ඡාවෙන් කියා දෙන්නේ ද රෝසි සේනානායක විසිනි.

මොවුන් මෙහෙයවන ඉහත සඳහන් කල ඉවැන්ජලික කුමණ්ත්‍රණයේ අරමුණ වන්නේ, එක්සත් ජාතික පක්ෂයේ “හිස ආක්‍රමණය” කිරීම යි. එනම් පක්ෂය මෙහෙයවන සුක්කානම අතට ගැනීම යි.. ඒ වෙනුවෙන් අවශ්‍ය පමණට “ගෙවීම්” බටහිරින් ලැබෙයි.. එකම කණ්ඩායමක් සේ වැඩ කරන මෙම පිරිස කටයුතු කරන්නේ, පක්ෂ නායකත්වය, නියෝජ්‍ය නායකත්වය, උප නායකත්වය, මහලේකම් තනතුර, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තමන්ගේ නියෝජනයන් ආදී ඉහලම තනතුරු තමන්ගේ කණ්ඩායම සතු කර ගැනීමට ය.

කෙටියෙන් කීවොත්,
මෙරට පොඩි මිනිහාගේ පක්ෂය වන, එක්සත් ජාතික පක්ෂය මේ කූට සැලැස්ම හරහා “බොදු විරෝධී ඉවැන්ජලික” බලවේගයක පාලනයට නතු කර ගනිමින් පවතී.. කොටින්ම පක්ෂය තුල රුක්මන් සේනානායක, කරූ ජයසූරිය වැනි බෞද්ධ නියෝජනයන් පක්ෂය තුල ම කොන් කරන මට්ටමට ම මෙම මහා සැලැස්ම තීව්‍ර වී තිබේ.

අනෙක් පසින්, කෙලී මහරාජා නම් ව්‍යාපාරිකයා විසින් සිය “සිරස” හරහා සෘජුව සහ වක්‍ර ව මෙම සැලැස්මට අනුව වත්මන් එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත දැඩි ප්‍රහාරයක් අරඹා තිබේ.. කෙලී මහරාජා, රංගා සහ මරික්කාර් නම් අයවළුන් විසින් මේ දිනවල “සිරස” තුලම සිය ප්‍රහාරයන් රනිල් වික්‍රමසිංහ වෙත එල්ල කරමින් සිටින බව ද වාර්තා වේ.

මෙවන් වාතවරණයක් තුල, ශ්‍රී ලාංකේය බෞද්ධ ජන පදනමේ පන්නරයෙන් සුසැදි එජාපය තුල මීලඟ නායකත්වයට පෙනෙනතෙක් මානයක හෝ ශක්තිමත්/ සුදුසු පුද්ගලයෙකු නොවෙයි. රන්ජන් රාමනායක වන්නවුන් ද නායකත්වයට සුදුසු යැයි සිතෙන්නෙත්, ටයි කෝට් පැලන්තිය නියෝජනය කරන රවී කරුණානායක “ජාතික ඇඳුමින්” පාර්ලිමේන්තු එන්නේත් මේ ආනුභාවය නිසාම ය. ( ජාතික ඇඳුමෙන් ඒම හොඳ ය.. එහෙත් සාමාන්‍ය ලාංකිකයෙක් ජාතික ඇඳුමකින් සිටීමත්, වෘකයෙක් බැටළු හමක් පොරවා සිටීමත් යනු දෙකකි. )

එනයින් ගත්තොත්, මෙතැන විශාල අනතුරක සේයාවකි.

සිංහල බෞද්ධ සහ සහෝදර සෙසු ජන පදනමෙන් පෝෂණය වූ මෙම විශාලත ම වූත්, වටිනා පක්ෂය සහ එහි හැඩය සම්පූර්ණයෙන් ම උඩු යටිකුරු වී “ඉවැන්ජලික ප්‍රජාතන්ත්‍රවාදී” පක්ෂයක් බවට පරිවර්තනය වන වේගය වැඩි වී තිබේ.

මේ ක්‍රියාදාමයන් මෙලෙසින් වද්දී මේ දෙස බලා සිටින තවත් පිරිසකි..
එනම් ජනතා විමුක්ති පෙරමුණ යි..

එජාපයේ මේ පිරිහීම ඔවුන්ගේ පැතුම යි.. මේ ආකාරයෙන් ආණ්ඩු විරෝධී විපක්ෂයේ කොඩිය ලේසියෙන් ම අතට ගැනීම, ජනතා ඡන්දයෙන් එතැනට ඒමට වඩා ලේසි ය.. ජෙනරල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හරහා ජේවීපිය අර අදිමින් සිටින්නේ “ජෙනරාල් ව දමා” එජාපය ආක්‍රමණය කිරීමට ය.. දැන් දියත් වන ජේවීපී උපාය මෙයයි.. අනුර කුමාර දිසානායක සහ ටිරාන් අලස් මේ සැලසුමේ ක්‍රියකාරීන් වේ., එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ජනරාල් ෆොන්සේකා සුදුසු ය යන මත්වාදය දියත් කෙරෙන්නේ මොවුන් දෙදෙනා විසිනි. මේ සැලසුම යටතේ ජෙනරල් සරත් ෆොන්සේකා යම් හෙයකින් එජාපයේ නායකත්වය නොව කිනම් හෝ තනතුරකට පත් වීම යනු ජේවීපිය ලබන නිතරඟ ජයකි. මන්ද, ජෙනරල් ෆොන්සේකා වැනි නායකත්ව ගුණාංගයන්ගෙන් පිරි දැවැන්ත පෞරුෂයක් එක්සත් ජාතික පක්ෂය තුලට එනවා ය කියන්නේ, එක්සත් ජාතික පක්ෂයේ පාලනය එහෙම පිටින් ම ඔහුගේ අතට ගැනීම “කජ්ජක්” නොවන නිසා ය.

එය පිටුපස එන්නේ ජේවීපීයේ දේශපාලන උගුල යි..

එක්සත් ජාතික පක්ෂය මේ වනවිට කඩා වැටී ඇති තත්වය ගැන සැලකිලිමත් වුවහොත්, එජාපයට ඉක්මණින් ම සටන්කාමී වූත්, ප්‍රබල වූත්, නොනැමෙණ නායකත්වයක් අවශ්‍ය වී ඇති අතර ජේවීපි ය ප්‍රයෝජන ගැනීමට මාන බලන්නේ මේ තත්වයෙනි.

මෙවන් තත්වයක් මත එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන එක්සත් ජාතික පක්ෂයේ පහල ම ඡන්ද දායකයගේ සිට ඉහල මට්ටමේ එජාප ක්‍රියාකාරියා විසින් පක්ෂය තුල මීට වඩා ප්‍රමාණවත් හඬක් නගමින් සිය පක්ෂයේ කොඳු නාරටිය වන බෞද්ධ ජන පදනම ද රැකගෙන වෙනත් පක්ෂවල සැලසුම් වලට ද අසු නොවී සිටීමට ක්‍රියා කල යුතු ය. මෙම දැවැන්ත පක්ෂය ඉහත කී උවදුරු වලින් රැක ගැනීමේ සටන වෙනුවෙන් හොඳ මහත්මයෙකු සේ ප්‍රකට කරූ ජයසූරිය, ආර්ථික විශේෂඥයෙකු වන කරුණාසේන කොඩිතුවක්කු, රුක්මන් සේනානායක වැනි මහත්වරුන් වහා ඉදිරියට පැමිණිය යුතු වේ.

එජාපයේ දෙවන පෙළ නායකත්වය සඳහා සුජීව සෙනසිංහ, රංජන් රාමනායක, අකිල විරාජ් වැන්නවුන් පසෙක ලා අවම වශයෙන් “විජේවර්ධන පරම්පරාවේ රුවන් විජේවර්ධන වැනි” දේශපාලන පෞරුෂයක් ඇත්තෙක් වහ වහා “ප්‍රමෝට්” කර ගැනීම ද එජාපයට මෙන්ම සමස්ථ රට වැසියාට ම සිදු වන්නා වූ සෙතකි.

එවිට තුනෙන් දෙකක් නොව දහයෙන් නවයක පාර්ලිමේන්තුවේ බලයක් තිබුණත්, මහින්ද ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවට හොඳ සටනක් දී, යම් දවසක
මෙරට පොඩි මිනිහාගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට යළිත් වරක් අභිමානයෙන් මෙරට දේශපාලනය බැබළවීමට හැකි බව උදක් ම කියමු.

- සිංහලයා පුවත්


(එක්සත් ජාතික පක්ෂයේ මෙම කඩා වැටීම සම්බන්ධ බොහෝ සිදුවීම් සහ “ඇතුලාන්තයන්” සම්බන්ධ බොහෝ තොරතුරු මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පාක්ෂිකයින් විසින් සිංහලයා පුවත් ඒජන්සියේ මෙම ලියුම්කරු හමුවේ හෙළි කරමින් පවතින අතර ඉදිරි දිනක දී අවශ්‍ය පරිදි තහවුරු කල පසු සිංහලයා පුවත් ඒජන්සිය මගින් පල කෙරේ..)

 

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>